Dark

Auto

Light

Dark

Auto

Light

සිද්ධ සූදියම් දෙවියන්ට හරියටම පහන් දැල්විය යුත්තේ කෙසේද..?

ශ්‍රී ලංකාවේ ගම් නගර වල නිවාසවල දෙවියන් වෙනුවෙන් දැල්වෙන පහන් පැල වලින් වැඩිම ප්‍රමාණයක් දැල්වෙන්නේ ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන් වෙනුවෙන් බව ඔබ ඇතැම් විට නොදන්නවා විය හැක. ඊට හේතු මෙන්ම සැඟවුණු රහස් බොහෝමයක් ඇත. බොහෝ විට අපේ සිංහල බෞද්ධ ජනතාව තමාට වෙන පාඩු, අලාභ දුක්ගැනවිලි අනෙකා සමඟ කියා බෙදාහදාගත්තද තමාට වන ලාභයක්, වාසියක්, යහපතක් ගැන නම් ලෙහෙසියෙන් කටක් අරින්නේ නැත. මෙනිසාම ශ්‍රී ලංකාව තුල විශේෂයෙන්ම සිංහල-බෞද්ධ සමාජය තුල දෙවියන් ඇඳහීම, ගුප්ත කර්ම වැඩ කටයුතු සිදුකිරීම පවතින්නේ ඉතා රහසිතගතවය. මේ ගැන නිවැරදිව දන්නෝ සහ ලබන්නෝ දෙවියන්ගෙන් සහ මෙම ගුප්ත විද්‍යාව තුළින් ප්‍රතිථල සහ ලාභ ප්‍රයෝජන ලබති. අද වන විට මෙම ගුප්ත විද්‍යාව එක පැත්තකින් වියැකෙමින් යන අතර තව පැත්තකින් දෙවියන් විකුණන් කන බොරුකාරයින් නිසා මෙම ක්ෂේත්‍රයම ගැරහීමට ලක්වේ. මේ නිසාම අප “Deviyo.lk” තුළින් නිරන්තරයෙන්ම දෙවියන් ඇතුළි මෙම ගුප්ත විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තොරතුරු දැඩි කැපවීමකින් යුතුව ඔබ වෙනුවෙන් ගෙන එන්නෙමු.

ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් ගම්භාර දෙවියන්ට පෞද්ගලිකව පහන් දල්වා එමගින් අප්‍රමාණ පිහිටක් ලබාගත හැකිය. නමුත් ඒ සඳහා නිවැරැදි අවබෝධයක් තිබිය යුතුය. මේ පිළිබඳව අප අදාළ කටයුත්ත කරන ප්‍රධාන දේවාල කිහිපයක කපු මහත්වරුන්ගේ අදහස් සලකා බලා පහත විස්තර ඉදිරිපත් කරමු.

එතුමා වෙනුවෙන් පහන් දැල්වීමට අදහස් කරන අය ඉඩමේ ප්‍රේත පාදය මඟ හැර උතුර, ඊසාන, නැගෙනහිර වැනි ශුභ දිශාවක් තෝරාගත යුතුය. එහි භූමිය සීමා කර පහන් පැලක් ඉදිකරගත යුතුය. එය රුක් අත්තන ලී භාවිතා කර යකඩ ඇණ භාවිතා නොකර සකස්කර ගත හැකි නම් වඩාත්ම සුබය. මෙය ඉඩමේ බ්‍රහ්ම පාදය මත ස්ථාපනය කළ හැකි නම් ඉතාම සුබයි. මෙම පහන් පැල ඉදි කිරීම සෙනසුරාදා, බදාදා දිනයක හෝ සුභ මුහුර්ථයක සිදු කිරීම වඩාත්ම ඵලදායකය. තම පපුවට සමාන උසකින් පහන් පැල සාදාගත යුතුය. පහන් දැල් වූ කල එහි ආලෝකය නිවසේ ප්‍රධාන දොරට එල්ල නොවි තම කඩුල්ල දෙසට එල්ල වන ලෙස සැකසීම සුදුසුය.

පහන් දැල්වීමේ දී පොදුවේ රාත්‍රි 9.05 ට සුදුසුය. එසේම කවුරුත් පහසුවෙන් නොකියන රහසක් අප ඔබ වෙනුවෙන් කීමට කැමතිය. එනම් ගම්භාර දෙවියන් මූලික කරගත් දේව වරම් දරුවන්ට පහන් තැබීම සඳහා රාත්‍රී 10.10 වඩාත් සුදුසුය. නමුත් ඒ ඒ දිනවලට සුදුසු මෙම වේලාවන්ය.

ඉරිදා රාත්‍රි 9.00- 9.45 අතර
සඳුදා රාත්‍රි 9.00 – 9.45 අතර
අගහරුවාදා රාත්‍රි 8.20 – රාත්‍රි 9.05 අතර
බදාදා රාත්‍රි 9.00 – 9.45 අතර
බ්‍රහස්පතින්දා රාත්‍රි 8.20 – 9.50 අතර
සිකුරාදා රාත්‍රි 9.00 – 9.45 අතර
සෙනසුරාදා රාත්‍රි 9.45 – 10.15 අතර

ගමේ අවමංගල්‍යක් සිදුව ඇත්නම් හෝ එවැනි දෙයකට සහභාගි වී එදින පහන් දැල්වීම නොකළ යුතුය. ඔබ කාන්තාවක් නම් මාස් ශුද්ධියෙන් පෙලෙන්නේ නම් එම දිනවල පහන තැබීමෙන් වැලකී සිටින්න. ඔබ දෙවියන්ගේ එම පූජා කටයුතු කිරීමේ ඇඳීම සඳහා වෙනම සුදු ඇඳුමක් තබා ගත හැකිනම් ඉතා හොඳය.

දේවතාවුන් වහන්සේට පහන් දල්වන පැල අසල දෑසමන් (සමන්පිච්ච) වැලක් සමඟ කහ පැලයක් රෝපණය කර ගැනීම පහන් දල්වන අය කරගෙන එන රහසකි. එමඟින් ප්‍රතිඵල වඩාත්ම සුබපලය.

පහන් දැල්වීමට පෙර බුදුන් වැද පන්සිල් සමාදන් විය යුතු වේ. හැකි පමණ පිරිත් සජ්ඣායනා කර දෙවියන්ට පිංදිය යුතුය.

මල් ආසනය පිරිසිදු කර කහ දියර ඉස සුවඳ දුම් අල්ලා ගත යුතුය. පහන් දැල්වීමට පස් තෙල් භාවිතා කළ හැකි නම් වඩාත් සුදුසුය. එසේත් නොමැති නම් පිරිසිදු පොල්තෙල් වුවත් භාවිතා කළ හැක.

කෙම්මුර දිනයන්හිදී බුලත් කොළ 3ක්, විලද ස්වල්පයක්, විලඳ මී පැණි, තැඹිලි ගෙඩියක්, සමන් පිච්ච මල්, කපුරු, සුවඳ කූරු සමඟ පලතුරු පූජාවක් තැබීමට හැකි නම් වඩාත් හොඳය. ඉන්පසු දෙවියන්ට මල් යහන් කවි සහ ස්ත්‍රෝත මන්ත්‍ර තුලින් ආරාධනා කර නමස්කාර ස්ත්‍රොත්‍ර කියා කන්නලව් කර අවසන පිංදීම සිදු කළ යුතුය.

පහන් දැල්වීමට එතුමාගේ පිළිරුවක් හෝ ඊයම් තහඩුවේ ඇඳ ගත් රූපය බලගන්වා ගැනීම කළ යුතුය. දේව ප්‍රතිමා බලගන්වන මන්ත්‍ර සහ පිළිවෙත් පසුවට සඳහන් වෙති.

ඔබට ඔඩ්ඩි වඩිඟ සිද්ධ සූනියම් ගම්භාර දිව්‍යරාජෝත්තමයන් වහන්සේගේ පිහිටයි…!

Leave A Comment