ධනයට, සෞභාග්‍යයට අධිපති මහා ලක්ෂ්මී දේව මෑණියන්
- Editor
- November 21, 2025
- දෙවිවරු, මහා ලක්ෂ්මී දේව මෑණියන්
- #Deviyo, #lakshmi, #mahalakshmi, Lakshmi Meniyo, maha lakshmi, මහා ලක්ෂ්මී
- 0 Comments
ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාගේ ප්‍රියම්බිකාව වන මහා ලක්ෂ්මි දෙවඟන ධනයට, සෞභාග්‍යයට අධිපතිය. ශ්‍රියා කාන්තාව සිරිකත ශ්‍රී දේවිය වන නම් වලින් හඳුන්වන ඇය ධන ලක්ෂ්මි, ඥාන ලක්ෂ්මි, ශාන්ති ලක්ෂ්මි, ඓශ්වර්ය ලක්ෂ්මි, පුත්‍රලක්ෂ්මි, භගම ලක්ෂ්මි, මහා ලක්ෂ්මි, ශ්‍රියා ලක්ෂ්මි ලෙස අවතාර අටකින් යුක්ත වන අතර බෙලි ගස ඇයට අයිති වෘක්ෂයයි. අනර්ඝ වස්ත්‍රාභරණ වලින් සැරසී රතු නෙළුමක් මත වැඩ සිටිමින් රන් කාසි හෙළන ආකාරය සංකේතවත් කරනු ලැබේ.
දේව පුරාණයට අනුව මහා ලක්ෂ්මී මෑණියන්ගේ උත්පත්ති කථාව
හින්දු ධර්මයේද කැපී පෙනෙන දේවතාවියක් වන ලක්ෂ්මී දෙවඟන තමාගේ බැතිමතුන්ට ධන ධාන්‍යයෙන් වාසනාව සහ ලැබීම ඇති කරවන බව බලවත් පිළිගැනීමයි. මෙකී දේව මණ්ඩලයේ කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදී. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය අයිරාවන නම් ඔහුගේ රාජකීය හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදී. මෙය දුටු දුර්වාස ඍෂිවරයා තමාට සිදුවූ මෙම නොසැලකිල්ල නිසා මහත් කෝපයට පත් වී සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන්ගේ බලය පහ වී යා යුතුය යැයි දරුණු සාපයක් කළේය.
මෙම සාපය නිසා අසුරයන් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය. පරාජයට පත් වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහා බ්‍රහ්මයන් වෙත ගියේය. නැවතත් ජය ලැබීමට නම් අමරණීයත්වයට පත් කරන ‘අමෘතය’ ලබා ගත යුතු බවත් පැවැසීය. මේ සඳහා ක්ෂීර සාගරය (කිරිමුහුද) කැලඹිය යුතු බවත් පැවැසීය. මෙම කාර්යය සඳහා උදවු ලබා ගැනීම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු කුර්ම අවතාරය වේශයෙන් මහාමේරු පර්වතය දණ්ඩක් ලෙස ගෙන කිරිමුහුද කැලඹීමට උදවු කළේය. නාග රජු වූ ‘වාසුකී’ ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර විණි. ඉන්ද්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් දෙවිවරුන් සහ බලී රජුගේ නායකත්වය යටතේ අසුරයෝද එක්ව කිරි සයුර කලඹන්නට පටන් ගත්තේය. කිරි සයුර කැලඹීමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළ වූවාය.
ආදි ලක්ෂ්මී – (ලක්ෂ්මියගේ පළමු පහළවීම)
ධාන්‍ය ලක්ෂ්මී – (ධාන්‍ය ධනය)
ධෛර්ය ලක්ෂ්මී – (වීර්ය ධනය)
ගජ ලක්ෂ්මී – (අලියා – ධනයේ සලකුණ)
සන්තාන ලක්ෂ්මී – (පරම්පරාව පවත්වාගෙන යෑමේ ධනය)
විජය ලක්ෂ්මී – (ජයග්‍රහණයේ ධනය)
විද්‍යා ලක්ෂ්මී – (දැනීමේ සහ අධ්‍යාපනයේ ධනය)
ධන ලක්ෂ්මී – (මූල්‍යමය ධනය)
නිතරම ලක්ෂ්මී දේවියගේ රුවක් ඉදිරියේ පහනක් දල්වා උදේ – සවස ඇයව නමදින බලවත් ස්තෝත්‍රය සජ්ඣායනා කිරීමෙන් මෙකී සැපත, සතුට, ධනය, බලය, වාසනාව ළංකර ගන්නට හැකියාව පවතිනු ඇත. හින්දු බැතිමතුන්ද ඔවුන්ගේ දීපවාලී දිනයන්හිදී නිවෙස් තුළ පහනක් දල්වා තබමින් ලක්ෂ්මි දේවිය පැමිණෙතැයි විශ්වාසය කරති.
වර්තමානයේ බොහෝ නිවෙස්වල පවතිනා අගහිඟකම්, ධනෝපායන මාර්ගයන්හි බිඳවැටීම් හා වෙළෙඳ ව්‍යාපාර කඩා වැටීම් ආදියට මෙම ලක්ෂ්මී දේවිය නිසි ලෙසින් වන්දනාව පෙන්වා දිය හැකිය. මෙම පාරම්පරික චාරිත්‍රය අදටත් ව්‍යාපාරවලට ප්‍රමුඛතාව ලැබෙන බස්නාහිර පළාතේ බොහෝ ව්‍යාපාර අභ්‍යන්තරයේ සිදු කිරීම දක්නට ලැබෙයි. ලක්ෂ්මී දේවිය වන්දනා කරයි. මෙවන් ස්ථානවලට නිතැතින්ම විශ්වයේ ආකර්ෂණයත්, නොබිඳෙන පැවැත්මත්, දියුණුවත් ආරක්ෂා වන බව ඔවුන්ගේ මතයයි.

