Dark

Auto

Light

Dark

Auto

Light

මහා භද්‍රකාලී දේව මෑණියන් ගැන

මහා කාලි දේවිය යනු ආධි ශක්ති මහා මාතවගේ ප්‍රධාන ඥාන ස්වරූප දහය් වන කාලි , තාරා , ශෝඩෂී , භුවනේශ්වරී , භෛරවී , චින්නමස්තා , ධූමාවතී , බගලාමුඛී , මාතාංගි සහ කමලා යන දශ මහා විද්‍යාවන්ගෙන් පලමු විද්‍යාව ලෙස කාලි ස්වරූපය හැදින්විය හැකිය.

මහා කාලි දේවියගේ පහලවීම ගත් කල ඇයගේ පහලවිම පිලිබඳව නිශ්චිතවම කිව නොහැක.හේතුව වන්නේ සමස්ත විශ්වයේම ආරම්භය සහ අවසානය වන්නේද ඇයම බැවිනි. සමස්ත විශ්වයේම කාල චක්‍රයද පාලනය කරන්නේද ඇයමයි. කාලි මතාව යනු සමස්ත විශ්වයේම දිව්‍යමය ආරක්ශිකාවයි. සමස්ත විශ්වයම ඇය තුලින් ආරම්භ වී ඇය තුලින්ම විනාශ වී යයි. ඇයගේ මෙම විනාශකාරි බලයන් නිසාවෙන්ම ඇය අන්ධකාරයේ හා ශුන්‍යයත්වයේ මව ලෙස හැදින්වේ. ඇයට ආරම්භයක් නැති වූවත් ඇතැම් පූරාණ ග්‍රන්ථයන්හි ඇය මහා දෙවියන්ගේ(ශිව)බිරිඳ වූ දු‍ර්ගා දේවීයගේ තෙවැනි ඇසින් පහල වී රක්තබීජ නම් අසුරයා මර්ධනය කිරීමට දුර්ගා දේවීයට සහය වූවාය යනුවෙන් සඳහාන් වේ. මෙම පහල වූ දිනය වර්තමානයේ කාලි ජයන්ති යනුවෙන් බැතිමතුන් සමරයි.

කාලි යන නාමය සෑදී ඇත්තේ “කාල “යන සංස්කෘත වචනයෙනි. නැතිනම් කාලයෙනි .එබැවින් ඇය කාලය , වෙනස් කිරීම , බලය , මැවීම , සංරක්‍ෂණ ය හා විනාශය නියෝජනය කරයි .කාලි යනු ,කාල නැතහොත් කාලම් යන්නේ ස්ත්‍රී ලිංග පදයයි ඒ අනුව මහා කාලි දෙවියගේ ස්වාමියා මහා කාල දෙවිදුන්‍ ය. කාලි යන වචනයේ සරල අර්ථය වන්නේ “කළු” යන්නයි ඒ අනුව කාලි යන වචනයෙහි අරුත ” කාල වර්ණයෙන් යුත් තැනැත්තිය “යනුවෙන් සරලව හැදින්විය හැකිය. කාල වර්ණය යනුවෙන් පැවසූවත් ඇයගේ සිරුර සැබැවින්ම රාත්‍රි ආකාසෙහි වර්ණයේ ස්භාවය ගනියි. ඇය මෙම කාල වර්ණයෙන් දිස් වන්නේ කාල වර්නයට කිසිදු ගුණයක් නැති බැවිනි. එනම් එය ශුන්‍යය වර්ණක් වේ . ඇය කාල වර්නයෙන් දිස් වීමෙන් අරුත් ගන්වන්නේ ඇය තුල කිසිදු ආශාවක් නොමැති බවයි එනම් ඇය ශුන්‍යයි .

ඇයව ශිව දෙවියන්ගේ පතිනිය වූ දුර්ගා/පාර්වතී යන අයගේ රුද්‍ර ස්වරූපයක් ලෙස බොහෝ දෙනා හැඳින් වූවත් ඇය එම සියලු දේවීන්ට ප්‍රථම පහල වූ ස්වරූපයයි එනම් ඇයගේ අධ්‍යා කාලි ස්වරූපය තුලින් ත්‍රි මූර්තිය හා ත්‍රී දේවීන්ද නිර්මාණය විය. එසේ ගත් කල ඇය සියල්ලටම ප්‍රථම උච්චතම ශක්තියයි. එනම් විශ්ව ශක්තියේ ප්‍රමුඛ ස්වරූපය ඇයයි.දුර්ගා , පාර්වතිද ,ලක්ශ්මි ,සරස්වතීද ඇය තුලිම නිර්මාණය වූ ශක්තීන්ය .

කාලි මාතාව තම බැතිමතුන් නපුරු බලවේගයන්ගේ මුදා ගෙන මෝක්ශය හා විමුක්තිය ලබා දෙන උතුම් මතාවකි . කාලි මතාව දසමහා විද්‍යාන්හි පලමු විද්‍යාවයි නැතහොත් මහා ශක්තියේ අවසාන යථාර්ථයයි. බොහෝ විට ඇය නිරූපණය කරන්නේ හින්දු මහා දෙවියන් වෙන ශිව දෙවිදුන්ගේ ,(ශව වූ ශිවගේ) ශරීරය මත සිටගෙන හෝ නටමින් ය. (තාණ්ඩව නර්තනයේ යෙදිමින්)ය. මෙයින් අරුත් ගන්නවනේ විශ්වයේ අවසාන ශක්තියත් ශිව තුල ගැබ්ව ඇති අතර ඇය විසින්ම අවසාන ශක්තියත් උරා ගන්නා බවයි එවිට ශිව ශව වෙයි .එනම් ශිවගේ ශක්තිය හීන වී ශව වූ ශිව බවට පත් වේ. එනම් මෙසේය ශිව යනු “ඉ” කාරයයි (ශ් + ඉ= ශි) “ඉ” කාරය යනු ශක්තියයි කාලි විසින් ශිවගේ ශක්තිය උරාගත් පසු එවිට ශිව ශව වේ.නැතිනිම් ශිව යනු කාලයයි ඇය ශිව මත නැගීමෙන් අරුත් ගන්නවනේ ඇය කාලයේ පාලිකාව බවයි. මහා කාලි දේවියගේ වාහානය වන්නේ මෙම ශක්තිය හීන වූ ශිවයි එබැවින් ඇය “ශවාරූඪවාහිනි” යනුවෙන්ද හඳුන්වනු ලබයි. ( මෙම ශිව මත පාදය තබන අකාරය වෙනම කතා පුවතක් වේ එය ඉදිරියේදි රැගෙන එන්නම්) මෙතනදි සඳහාන් කරන්නේ ශිව මත කාලි දේවීය සිටීමෙන් අරුත් ගන්නවන සැඟවුනු අරුතය.

කාලි මතාව බොහෝ තැන්හි ආකාර දෙකකින් නිරූපණය කරයි එය මෙසේය ,

පළමු ආකාරය – මේ අවස්තාවේදි ඇය දෑත් සතරකින් නිරූපණය කරයි එක් අතක කඩ්ගයක් ( කොකු හැඩය ගත් අසිපතක්) අනික් අතෙහි හැපූ මිනී හිසක් සහ අනික් අත් දෙකෙන් අභය හා වරද මුද්‍රා නිරූපනය කෙරේ . මෙම කඩ්ගයෙන් දිව්‍යමය දැනුම සංකේතවත් කරන අතර මිනිස් හිසෙන් සංකේතවත් කරනු ලබන්නේ මෝක්ශය ලබා ගැනීම සඳහා දිව්‍යමය දැනුමෙන් මරා දැමිය යුතු මිනිස් අහංකාරයයි .අභය මුද්‍රාව මගින් ( සමාන්‍යයෙන් දකුණු අතින් අභය මුද්‍රාව පෙන්නුම් කරයි ) නිර්භීතකම නිරූපණය කරයි. වරද මුද්‍රාවෙන් සියලු බැතිමතුන් හට (භක්තියෙන් ඇයට වන්දනා කරන බැතුමතුන් හට) වරදානය ප්‍රධානය කරන බවයි ඇය කාලවර්ණය යෙන් හෝ නීල වර්ණයෙන් දිස් වේ .මෙය සිතුවම් කරුවන්ගේ වර්ණ ගැලපීම අනුව තීරණය වේ නමුත් ඈගේ සැබෑ වර්ණය රාත්‍රී ආකාසෙහි වර්ණය වේ.(ලා කළු වර්ණය) .ඇයගේ දෑස් රක්තවර්ණ වේ මෙමගින් නිරපේක්ශ කෝපය ප්‍රකාශ කරයි. ඇයගේ කේශ කලාපය නිදහස් වී තියේ එමගින් ඇය සියලු බැදීම් වලින් තොර බව සංකේතවත් කරයි . ඇයගේ දිව මුඛයෙන් පිටතට පැමිණ ඇත . ඇය නිර්වත් ආකාරයෙන් නිරූපණය කරන්නේ ඇය මායාව නම් වැස්මෙන් තොර බවයි. ඇතම් තැනක ඇයගේ දෑත් සතරෙහි කඩ්ගයක්,ත්‍රිශූලයක් ,කැපූ මිනිස් හිසක් හා එම හිස් කබලෙන් වෑහේන රුධිරය එකතු කරන බඳුනක් වේ. ත්‍රිශූලය මගින් අධර්මය නාශනය කොට ධර්මය ස්තාපිත කිරීමත් , කඩ්ගයෙන් දිව්‍යමය දැනුමත් සංකේතවත් කරයි දිව්‍යමය දැනුමෙන් මිනිස් අහංකාරය නාශනය කොට ඇයම එම අහංකාර එකතු කර ගන්න බව මෙම ස්වරූපයෙන් විස්තර කෙරේ .

දෙවන ආකාරය – මෙම ස්වරූපයේදී මහා කාලි දේවිය මුහුණු දහයක් පාද දහයක් හා දෑත් දහකින් සමන්විත වේ.මෙම සෑම මුහුණක්ම දෑස් තුනකින් යුක්ත වේ. මෙම කාලි ස්වරූපය දශමුඛ කාලි ලෙස හැදින් වේ. මෙම අත් දහයේ කාලි දේවිය එක් එක් දෙවියන් සතු අවි ආයුධ දහයක් දරා සිටියි එයින් අර්ථ ගන්වන්නේ සෑම දෙවි කෙනෙකුගේම ශක්තිය කාලි දේවිය සතුව ඇති බවයි. මෙම එක් එක් අවි ආයුධ මඟින් එක් එක් දෑ සංකේතවත් කරයි. ඇගේ මුහුණු දහයෙන් දසමහ විද්‍යා නිරූපනය කරයි.මෙම ස්වරූපය මහා කාලි දේවීයගේ පූර්ණ ස්වරූපය ලෙස හැදින්වේ. ඇතැම් අවස්ථාවල අත් දහයක් ,පාද දෙකක් සහ එක් මුහුණක් සහිතවද දක්නට ලැබේ. මෙය එකමුඛි ලෙස හැදින්වේ. මහා කාලි දේවිය කුමන ආකාරයකට සිටියද ඇයගේ පාමුල ශව වූ ශිව (ශක්තිය හීන වූ ශිව ) දක්නට ලැබේ.

කාලි දේවියගේ ගෙලෙහි මිනිස්හිස් මාලයක් ඇත මෙය 108 , 51 ආදි ගනන් වලින් සමන් විත වේ ( සාමාන්‍ය රූපාකාරයකදි මෙය වෙනස් විය හැක මන්ද එය සිතුම් කරුවාගේ නිර්මණ කැමැත්ත මත මෙම මිනිහිස් ගාන වෙනස් විය හැක) සමාන්‍යයෙන් ඉහත කී ගනන් මෙම මාලයේ අඩංගු වන බව පැවසේ .මෙමගින් වර්නමාලා හෝ දේවානගරි යන සංස්කෘත හෝඩියේ අක්ෂර මාලය නියෝජනය කරයි.හින්දු විශ්වාසයට අනුව සංස්කෘත යනු ගතිකත්වයේ භාෂාවක් වන අතර මෙම සෑම අකුරක්ම එක්තරා ආකාරයක ශක්තියක් නිරූපණය කරයි. මෙම නිසා ඇය භාශාවේ මව ලෙසත් සියලු මන්ත්‍ර ඇයම බවත් සැලකේ.

මහා කාලි දේවියගේ එක් එක් ස්වරූප ගනනාවක් ඇත දක්ශින කාලි ,ශ්ම්ශාන කාලි ,භද්‍රකාලී , ගුහිය කාලි , වාම කාලි ආදි ස්වරූප වේ. ( සියලුම දේව ස්වරූප ඇයගේ ස්වරූප වූවත් මෙහිදි සඳහාන් කරන්නේ ඇයගේම ශක්තියට ආවේණික වූ ස්වරූප කිහිපයක් පමණි.) ඇය දක්ශින කාලි ලෙස බැතිමතුන්ට වරයන් ප්‍රධානය කරයි , භද්‍රකාලි ලෙස සියලුම මංගල කාරනා ඉශ්ට කරයි , ශ්ම්ශාන කාලි ලෙස සියලුම අඳුරු බලවේග පලවා හරිමින් ත්‍රන්ත්‍ර විද්‍යාවන් සධනය කරයි .

මහා කාලි දේවිය ලොව පුරා වන්දනාවට පාත්‍ර වූවද ඉන්දියාව , නේපාලය ශ්‍රි ලංකාව තුල ඇය ප්‍රධාන වශයෙන් වන්දනා මාන වේ.නැගෙනහිර ඉන්දියාවේ කාලි පූජාවේදි කාලි මාතාව විශේශයෙන් ගෞරවයට පාත්‍ර වේ. අශ්විනි මාසයේ නව සඳ දිනය දිපවාලි උත්සවයට සමගාමීව මෙය සමරනු ලැබේ.

ඉහත කරුණු සලකා බලන විටදි පෙනි යන්නේ ඇය උතුම් මාතාවක් බවයි.ඇයට භක්තියෙන් වන්දනා කරන ඕනෑම බැතිමතෙක්ට ඇය අම්මා කෙනෙකු මෙන් පිහිටවෙයි .ඇයගේ බාහිර රූපාකාරයෙන් දැක බලා ඇයව බොහො දෙනා යක්ශනියකට ආරෝපණය කර ඇත. නමුත් ඇයගේ මෙම ස්වරූපයට සැඟවුනු අරුත් ඇති බව දැන් ඔබට වැටහෙනු ඇත. ඇයට වන්දනා කිරීමට කිසිදු බියක් සිත තුල ඇති නොකර ගත යුතුය මන්ද ඇය සමස්ත විශ්වයේම මාතාව බැවිනි .

Leave A Comment