Dark

Auto

Light

Dark

Auto

Light

ස්කන්ධ කුමාර දෙවියන්ගේ උප්පත්ති කතාව

ස්කන්ධ කුමාර දේව පුරාණය’ කතරගම දෙවිඳුන්ගේ උපත විචිත්‍රවත් කරන කතා පුවතකි. හින්දු දේව පුරාණයේ සඳහන් අයුරින් ස්කන්ධ කුමරුගේ උත්පත්තිය සිදුව ඇත්තේ දෙවියන්ට මෙන්ම නරයන්ටද සිදුවූ ව්‍යසනයකින් බේරා ගැනීම සඳහාය.

හින්දු දේව පුරාණය අනුව ‘මුරුගන්’ හෙවත් ‘මුරුකන්’ යනු ඊශ්වර, විෂ්ණු, මහා බ්‍රහ්ම යන ත්‍රිමූර්තියේ ශක්තිය වේ. මුරුගන් යන ප්‍රකට නාමයෙන් හින්දුන් ස්කන්ධ දෙවියන්ව හඳුන්වනු ලබන්නේ එම ත්‍රිමූර්තිය මුල්කර ගෙන යැයි පැවසේ

එය මෙසේය.

“මූ” යනු මුගුන්දන් වේ.

‘මුගුන්දන්’ යනු විෂ්ණු දෙවියන් හඳුන්වනු ලබන එක් නාමයකි.

කතරගම දෙවියන් විෂ්ණු දෙවියන්ගේ එක් ස්වරූපයක් බව වෛශ්‍රව එනම් විෂ්ණු දෙවියන් අදහන හින්දු ජනයා පවසති.

“රු” යනු රුද්‍රන් වේ.

‘රුද්‍රන්’ යනු ඊශ්වර දෙවිඳුන්ගේ එක් ස්වරූපයකි.

රුද්‍රංශය යනු ඊශ්වර දෙවියන්ගේ එක් අංශයක් ලෙසද සැලකේ.

“ක” යනු කමලන්ය.

‘කමල’ යනු නෙළුම් මල නෙළුම සිය අසුන ලෙස භාවිත කරන්නේ මහා බ්‍රහ්ම දෙවිඳුන්ය.

ඒ අනුව මහා බ්‍රහ්මයාගේ බලයක්ද කඳ සුරිඳු වෙත ඇත.

මෙලෙස බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ත්‍රිමූර්තියේ ශක්තීන් ස්කන්ධ කුමාරයා තුළ පවතින බව හින්දු දේව පුරාණයේ සඳහන්ය. අද අප දකින ත්‍රිශූලය එය සංකේතවත් කරයි.

සුරඅසුර යුද්ධය පිළිබඳ අප අසා ඇත්තෙමු. මේ සඳහා මුල් වන්නේ සූර පද්මයා, තාරකා අසුර, සිංහ මුග අසුර, ගජ මුග අසුර යනුවෙන් හඳුන්වනු ලැබූ අසුර සොහොයුරන් සහ ඔහුන්ගේ සේනාවයි.

සූර පද්ම අසුරයා ඊශ්වර දෙවියන් වෙත පැමිණ කෙදිනක හෝ ඔවුන් නැසීමට හැක්කේ ශිව දෙවියන්ගේ ස්වරූපයෙන්, මවුකුසකින් නූපන් දරුවෙකුට පමණක් බවට වරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. භාවනා යෝගීව සිටි ‘ශිව’ දෙවියන් ඔවුන් කෙරෙහි වූ විශ්වාසයෙන් එම වරය ලබාදුනි.

වරම ලබාගත් එම අසුරයන් දෙව් ලොව වෙත ගොස් එහි අධිපතිව සිටි ඉන්ද්‍ර දෙවියන් හෙවත් සක් දෙවිඳුන්ට මුලින්ම සිය බලය පෙන්වා පලවා හරිනු ලැබීය. එයින් නොනැවතුණු ඔවුන් දේව බලමණ්ඩලයම සිය අණසකට ගෙන යටත් කර ගැනීමට සිය බලය යොදවන්නට විය.

මෙය ඉවසාගත නොහැකි වූ දෙවිවරුන් සහම්පති මහා බ්‍රහ්මයා වෙත ගොස් අසුරයන්ගෙන් ඔවුන්ට සිදුවන බලපෑම් පිළිබඳ පැමිණිලි කළ විට මහා බ්‍රහ්ම එම දෙවිවරුන්ට පවසා ඇත්තේ අසුර බලය සිඳළීමට නම් ශිව දෙවියන් මුණගැසිය යුතු බවත්, එයට හේතුව වන්නේ අසුරයන් කටයුතු කරන්නේ ශිවගෙන් ලබාගෙන ඇති වරමක බලයෙන් නිසා බවත් පවසා එම දෙවිවරුන් සමග ශිව දෙවියන් වෙත ගොස් දෙවිවරුන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.

ශිව දෙවියන් එකවරම සිය දැහැනින් මිදී කෝපයෙන් නළලේ පිහිටි සිය තෙවැනි ඇස දැල්වූවා පමණි එයින් ගිනි පුපුරු හයක් පිටවී එය ගංගා නම් නදිය වෙත පතිත වී ඇත.

ගංගා නම් නදිය යනු භාරතයේ අති පූජනීය ගංගාවකි. එම නදියේ ගලා බසින්නේ අතිශුද්ධ වූ ජලය බවට අදටත් හින්දූන්ගේ විශ්වාසයක් පවතී.

“ගංගේච යමුනා සෛව ගෝදාවරී
සරස්වතී නර්මදා සින්දු
කාවේරී ජලෙශ්මින් සන්නිදම් ගුරු”

යන සංස්කෘත ශ්ලෝකයෙන්ද පැවසෙන්නේ ගංගා, යමුනා, ගෝදාවරී, සරස්වතී, නර්මදා, සින්දු, කාවේරී යන සප්ත මහා ගංගාවන්ගෙන් ගංගා නම් නදිය උසස් බවයි.

ශිව විසින් කෝපයෙන් මුදා හරින ලද ගිනි පුපුරු හය ගංගා නම් නදියටත් දරා ගැනීමට නොහැකිව ඒවා ‘සරවන’ විල වෙත පතිත කරවනු ලැබීය.

එහිදී එම ගිනි පුපුරු නෙළුම් මල් හයක් බවට මැවුණු අතර, ඒ සමගින්ම එම නෙළුම් හයෙන් දරුවන් හයදෙනෙකු පහළ විය. ඒ වනවිට ‘සරවන විල’ අසල සෘෂීවරුන් හත්දෙනෙක් වාසය කරමින් සිටියහ.

ඔවුන්ගේ බිරින්දෑවරුන් වූ කන්‍යාවියන් හත් දෙනාගෙන් අරුන්දතිය හැර නිදර්තනී, හබරකෙන්ති, මේගෙන්ති, වර්දයෙන්ති, අම්බා, තුලා යන කන්‍යාවියන් හයදෙනා ඉමහත් සතුටින් යුතුව මෙම දරුවන් හය දෙනා රැකබලා ගැනීමට ඉදිරිපත් වූහ. ‘කාර්තිකේ මාතෘ’ යනුවෙන් එම කන්‍යාවියන් නම් කෙරිණි. කතරගම දෙවියන් කාර්තිකේයන් යනුවෙන් හඳුන්වන්නේද එබැවිනි.

ස්කන්ධ කුමාර දේව ස්තෝත්‍රයක ‘කාර්තිකේ යෝ අග්නි නන්දනම්’ යනුවෙන් පැවසෙන්නේ ඒ නිසාය.

මෙම සුවිශේෂී සිදුවීම ශිව, සිය දේවිය වූ පාර්වතීට සැළකිරීමත් සමග ඇයට මෙම දරුවන් දැක ගැනීමේ නොතිත් ආශාවක් පහළ වූවාය.

ඒ අනුව ශිව, පාර්වතී දේවිය සමග මව් කුසකින් නූපන් සිය බලයෙන් උපන් දරුවන් දැකීමට සරවන විල අසලට පැමිණියේය. සෙල්ලම් කරමින් සිටි දරුවන් හය දෙනා දුටු පාර්වතී දේවිය සතුටින් ඉපිලී ධාරක ස්නේහයෙන් යුතුව දරුවන් හයදෙනාම එකවිට තුරුලූ කර ගත්තාය.

එවිට ඇයට ශිවගේ පූර්ණ ශක්තිය මෙම දරුවන් හයදෙනාම සතුව පවතින බවට දැනිණි. එසැණින්ම එම දරුවන් හයදෙනා මුහුණු හයක් අත්දොළසක් එක් ස්කන්ධයක් ලෙස එක්විය.

ස්කන්ධ කුමාර යනු කිසිවෙකුට සම කළ නොහැකි රූසපුවකින්ද, ‘‘ෂන්මුගම්’ යනු මුහුණු සයකින් යුක්ත වීමද කඳසුරිඳුන්ගේ උපතින් ලැබූ නාමයන්ය.

අනතුරුව ඊශ්වර දෙවියන් සිය පුත් ෂන්මුගම් දේව කුමරු තමා වෙත කැඳවා සුරයන්ටත්, නරයන්ටත් ඉමහත් ව්‍යසනයක් වී සිටින සූර පද්මයා ඇතුළු අසුර සොහොයුරන් වහා නසා දමන ලෙස ස්කන්ධ කුමරුට සිය ප්‍රථම රාජකාරිය පැවරීය.

ඒ සමගින් එම ස්ථානයට පැමිණි විෂ්ණු සහ මහා බ්‍රහ්ම දෙවිවරුන් ඉතා සතුටින් සිය ආශීර්වාදය සමග බලයද ෂන්මුගම් වෙත ලබාදුණි. ත්‍රිමුර්තියේ බලය එක් වන්නේ එලෙසය.

ශිව දෙවියන් මෙහිදී ඉච්ඡා ශක්තිය හා කිරියා ශක්තිය යනුවෙන් විශේෂ ශක්තීන් දෙකක්ද ස්කන්ධ කුමරු වෙත ලබාදෙන්නේය.

*ඉච්ඡා ශක්තිය යනු ආශාවේ ශක්තිය වේ. එය ‘තෛයිවානී මාතාව’ ලෙස හඳුන්වයි.

*කිරියා ශක්තිය’ යනු එම ආශාව ඉටුකර ගැනීමේ ක්‍රියාකාරී ශක්තියයි. එය වල්ලී මාතාව ලෙස හඳුන්වනු ලබයි.

කතරගම දෙවියන්ට බිරින්දෑවරුන් දෙදෙනෙකු සිටින බවට පවතින කතාබහට මෙයින් පිළිතුරක් ලැබේ යැයි සිතමි.

මෙහිදී පාර්වතී මෑණියන් ස්කන්ධ කුමරු වෙත වේලායුද ශක්තිය ලබා දෙන්නීය. වේලායුද යනු ඥාන ශක්තියයි.

සූර පද්මයා ඇතුළු අසුරයන් නැසීමට මෙම ඥාන ශක්තිය අත්‍යවශ්‍ය වන බව පාර්වතී දේවිය එහිදී පවසන්නීය.

වේලායුදයෙන් ඥාන ශක්තිය සංකේතවත් වේ. ඉච්ඡා ශක්තිය, කිරියා ශක්තිය, ඥාන ශක්තිය දෙවිවරුන් වෙත පවතින සුවිශේෂී ශක්තීන් වේ. එමගින් ලෞකික සැප සම්පත් ඉල්ලාගෙන පැමිණෙන බැතිමතුන්ට ඒවා ලබාදීම සුදුසුද, නැද්ද යන්න දෙවිවරුන් සොයා බලන බවට හින්දු දේව ඇදහිල්ලෙහි විශ්වාසයක් පවතී.

මෙම සියලුම ශක්තීන්ගෙන් ස්කන්ධ කුමරු මුලින්ම සටන් වදින්නේ සිංහමුග අසුරයා සමගිනි. වේලායුදය යොදා ගනිමින් සිහමුග අසුරයා නසන ස්කන්ධ කුමරු එසැණින් නැසූ අසුරයා සිංහයෙකු ලෙස මවා පාර්වතී මෑණියන් වෙත සටනේ ප්‍රථම සිහිවටනය ලෙස පිරි නමන්නේය. එතැන් පටන් සිංහයා පාර්වතී දේවියගේ සිංහාසනාරූඩ වාහනය විය.

සිංහමුග අසුරයා නැසීමෙන් පසු ස්කන්ධ කුමරුන් සටන් වදින්නේ ගජමුග අසුරයා සමගිනි. ඇතෙකුගේ ස්වරූපයෙන් පෙනී සිටින එම අසුරයා දුටු සැණින් ස්කන්ධ කුමරුට සිය සොහොයුරා වන ගණපති සිහි වන්නේය.

මන්ද ගජමුග අසුරයා එහිදී පෙනී සිටින්නේ ගණ පතිගේ ස්වරූපයෙනි. මෙහිදී සටන ප්‍රමාදවනු දකින කඳ කුමරුන්ගේ සොහොයුරු ගණපති එම ස්ථානයට පැමිණ වහා ක්‍රියාත්මක වී ගජමුග අසුරයා නසා දමන්නේය. කඳකුමරුන් ඒ සමගින්ම නැසූ අසුරයා මූෂිකයෙකු (මීයෙකු) බවට පත්කරන්නේ සිය සොහොයුරගේ වාහනය ලෙස සංකේතවත් කරමිනි.

ඉන් පසු තාරක අසුරයා නසන කඳසුරිඳුන්, සූර පද්මයා නැසීමට සැරසෙන විට සූර පද්මයා විසින් සිය අසුර සේනාංකයේ පද්ම අසුරයාව කඳ සුරිඳුන් සමග සටනට යොමු කරන්නේය. පද්ම අසුරයා බලගතු අසුරයෙකි. ඔහුගේ සෙන්පතියා වන්නේ ඉඩුම්බ අසුරන්ය. ඔහුද සටන්කාමී ප්‍රබල අසුරයෙකි.

‘ෂන්මුගම්’ හෙවත් කඳ සුරිඳුන් පද්ම අසුරයා නැසීමෙන් පසු ඉඩුම්බ අසුරයා කඳ සුරිඳුන් සමග සටන් වැදීමට සූදානම් වනවිට අගස්ති සෘෂිවරයා ඉඩුම්බ අසුරයා කැඳවා ෂන්මුගම් යනු ප්‍රබල දේවතාවෙක් බවත්, එතුමා සමග සටනට නොගොස් සමාව අයැද වරමක් ලබා ගන්නා ලෙස උපදෙස් දුනි.

එවිට ඉඩුම්බ අසුරයා, ඔහු පැවැති සටනේදී ෂන්මුගම් දේවතාවුන්ව මරණයට පත්කරන්නට උත්සාහ කළ අයෙකු බැවින් තමන්ට සමාවක් ලැබේදැයි ඝෘෂි වරයාගෙන් පෙරළා ප්‍රශ්න කිරීමේදී අගස්ති ඝෘෂිවරයා එයට පිළිතුරු වශයෙන් පවසා ඇත්තේ හිමාලයේ වූ ශිවගිරි හා ශක්තිගිරි යන පර්වත දෙක කදක තබාගෙන කාවඩි රැඟුමින් කතරගම දෙවියන් වෙත ගෙනගොස් පූජා කරන ලෙසයි. එය එසේ කළහොත් ස්කන්ද කුමරුන්ගෙන් නියත වශයෙන්ම සමාව ලැබෙන බවද පවසනු ලැබීය.

ශිවගිරි හා ශක්ති ගිරි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ෂන්මුගම් හෙවත් ස්කන්ධ කුමරුගේ පියා හා මව වූ ශිව, පාර්වතී දේව යුවළගේ නමින් පැවැති කඳු යුගලයකි.

අගස්ති ඝෘෂිතුමාගේ උපදෙස් අනුව ඉඩුම්බ අසුරයා එම කඳු දෙක කදක තබා ගෙන කාවඩි රැඟුමින් ගොස් ස්කන්ධ කුමරුන්ගේ පාමුල වැඳවැටී ශිව ගිරි හා ශක්ති ගිරි පූජාව පවත්වනු ලැබීය.

සිය මව සහ පියා වෙනුවෙන් කරන ලද ගෞරවය පිළිබඳ ඉමහත් සතුටට පත්වන ස්කන්ධ කුමරුන් ඉඩුම්බ අසුරයාට සමාව දී සිය සේනාවේ ප්‍රධාන සෙන්පති ලෙස වරමක් ඉඩුම්බ අසුරයාට පිරිනැමීය.

එතැන් පටන් හින්දු දේව පුරාණයේ ඉඩුම්බ අසුරයා ඉඩුම්බ සාමි ලෙසට නම් කෙරිණි.

ශ්‍රී ලාංකික බැතිමතුන් කඩවර දෙවියන් ලෙස (එවැනි මතයක් තිබේ) පූජා පවත්වන්නේ ඉඩුම්බ සාමිවරයාටය. එසේම අද අපට කතරගම ඇතුළු දේවාල සංස්කෘතික මංගල්‍යයන්හිදී දකින කාවඩි රැඟුමේ මෙන්ම දෙවියන් වෙනුවෙන් පවත්වන මුරුතැන් පූජා කඳෙහි ආරම්භකයා වන්නේද ඉඩුම්බ සාමි හෙවත් කඩවර දෙවියන්ය.

ස්කන්ධ කුමරු මෙලෙස අසුරයන් පරාජයට පත්කරමින් ඉදිරියට යනවිට සූර පද්මයා ස්කන්ධ කුමරුන්ගෙන් කිසිදු ගැලවීමක් නොමැති බව වටහාගෙන විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටිමින් කඳ කුමරුන්ව නොමග යැවීමට දැඩි උත්සාහයක යෙදුනි. අවසානයේදී සූර පද්මයා මහා සමුද්‍රයට බැස අඹ ගසක් මෙන් පෙනී සිටි කල්හි කඳ සුරිඳුන් සිය මව ලබාදුන් ඥාන ශක්තියෙන් අසුරයාව හොඳින් හඳුනා ගත්තේය.

කඳ කුමරුන්ගේ ආකර්ෂණීය රූපකාය සම්පත්තිය දැක වැඳ නමස්කාර කිරීමට ඔහු සිතුවද, ‘මේ පොඩි එකාට මම මොකට වඳිනවාද’ යන උද්දච්ඡ සිතුවිල්ල ඒ සඳහා ඔහුට ඉඩ නොදුනි.

එයම ඔහුගේ අවාසනාවට හේතුවිය. තවද මොහොතක් හෝ කල් නොගත් ෂන්මුගම් හෙවත් ස්කන්ධ කුමරුන් සිය මව විසින් ලබාදුන් වේලායුද ශක්තියෙන් සාගරයේ වූ අසුර අඹ ගස දෙපළු කර දැමුවේය.

එසේ දෙපළු වූ ගසෙන් එක් පළුවක් මොණරෙකු ලෙසටද, අනෙක් පළුව කුකුළෙකු ලෙසද මැවූ කඳ සුරිඳුන් මොණරා සිය ආසනය ලෙසටත්, කුකුළා සිය ධජය ලෙසටත් තබා ගත්තේය.

මෙරට බැතිමතුන්ගේ ඉමහත් ගෞරවනීය පූජෝපහාරයෙන් පිඳුම් ලබන කතරගම දෙවියන්ගේ උප්පත්තිය සිදුවන්නේ සුරයන්ට මෙන්ම නරයන්ටද වැඩදායී කර්තව්‍යයක් ඉටුකිරීමේ ශුද්ධ වූ අරමුණෙනි. එම අරමුණ අදටත් වලංගුය. පිරිසුදු චේතනාවෙන් මෙන්ම පේවී කැපවූ භක්තියෙන් යුක්තව ධර්මානුකූලව මෙන්ම විනය ගරුකව සමාජය තුළ ජීවත්වන මිනිසාට කතරගම දෙවියන්ගෙන් ආරක්‍ෂාව, ආශීර්වාදය නිරතුරුවම ලැබෙන්නේය. එම සත්‍යය මේ ලොව පවතිනා තුරා පුණ්‍යවන්තයන්ට උරුම වූ වරමකි.

Leave A Comment