Dark

Auto

Light

Dark

Auto

Light

තුන් ලොවටම අධිපති ශක්‍ර දෙවියන්

අතීත සසර තුළ කර ඇති පිං ප්‍රමාණය මත දෙවියන් හීන, මධ්‍ය, ප්‍රනීත ලෙස කොටස් තුනකට වර්ග වේ. ඒ අනුව ශක්‍රයා ප්‍රනීත දෙවි ගණයට අයත් වේ. එසේ වන්නේ සක් දෙවිඳු අතීත සසරේ අසාමාන්‍ය ලෙස බොහෝ දාන, ශීල, භාවනා යන පුණ්‍ය ක්‍රියා කළ අයකු වීම නිසාය. ප්‍රනීත දෙවිවරයෙක් වන ශක්‍රයාගේ ශරීරය වටා විශාල රශ්මි මාලාවක් හෙවත් අන් කිසිදු දෙවියකුට නොමැති විශාල ආලෝකයක් පවතී. එපමණක් නොව සක්දෙවියන්ගේ අණට දෙවියන් මෙන්ම බ්‍රහ්මයන් ද යටත් වේ.

චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය හා පරනිම්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හයට සක්දෙවිඳු අධිපතිත්වය දැරුව ද ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වාසය කරන්නේ චාතූම්මහාරාජිකය හා තාවතිංසය යන දිව්‍යලෝක දෙක තුළ පමණි.

දෙවිවරු ඕපපාතිකව බිහිවේ. එසේ පහළවන දෙවිවරු අතර පිං බලයෙන් ඔවුනට දිව්‍ය වස්ත්‍ර හා දිව්‍ය ආභරණ පහළ වේ. අතීත සසර තුළ කර ඇති පිං මහිමයෙන් දිව්‍ය තේජසින් විරාජමානව වාසය කරති.

සක්දෙවි යනු පදවියකි. කිසිදා වෙනස් නොවන තනතුරකි. නමුත් කාලයෙන් කාලයට මෙම පදවියේ සිටින දෙවියන් වෙනස් වේ.

සක්දෙවි පදවියට පත්වන්නේ මතු සසර තුළ බුදු බව ලබන උත්තමයකු හෝ පසේබුදු පදවිය ලබන උත්තමයකු පමණි. විශ්වය පාලනය කිරීමට දැනුම මෙන්ම පිං, සිල් ඇති අය මෙම පදවියට පත් වේ. නමුත් සෑම සක්දෙවියකුගේම බලය එක හා සමාන නොවේ. ඔවුන් තුළ ඇති පිං, සිල් ප්‍රමාණය මත බලය අඩු වැඩි වේ.

විවිධ රටවල විවිධ ජාතීන් ශක්‍රයා විවිධ නම්වලින් හඳුන්වයි. ශක්‍රයා හඳුන්වන පර්යාය පද අතර ඉන්ද්‍ර, සුරරද, සුරවතී, සක්දෙව්, ඉඳුරු, සුරනිඳු, මහේන්ද්‍ර, සත්ඉඳු, විදුරවි, දිනිපති, සුරගුරු, ශක්‍ර, වජ්‍රපානී යන නම් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව අනු, තෝර්, අමුන්, සියස්, ජුපිටර්, වජ්‍ර සාත්ව, පුරන්දර, දසැස්. සුරපති යන නම් ද සක්දෙවිඳුන්ට පර්යාය පද ලෙස භාවිතා කරයි.

සක්දෙවි පදවිය ලැබීමට නම් බොහෝසෙයින් පිං රැස් කළ යුතු වේ. ඒ අතර සිල්වත්ව, දන් පිං ද කළ යුතු වේ. අවංක විය යුතුයි. සත්‍යවාදී විය යුතුයි. කේලාම්, පරුෂ වචන භාවිතා නොකළ යුතුයි. දෙමාපියන්ට ආහාරයෙන් සැලකීම මෙන්ම මෘදු වචන කතාකිරීම හා වැඩිහිටියන්ට ගරු කිරීම අනිවාර්ය වේ.

ශක්‍ර දේවේන්ද්‍රයන්ට සේවය කරනුයේ අල්පේශාක්‍ය දෙවිවරුන්ය. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ බිරිඳ වන ඉන්ද්‍රානී දේවිය ප්‍රනීත දෙවි කුලයට අයත් වේ. සක් දෙවිඳුන්ගේ වාහනය හිස් තුනක් හා දළ හතරක් ඇති එෛරාවණ නම් ධවල හස්තිරාජයාය. නමුත් එම හස්තිරාජයා සත්ත්වයෙක් නොව පිං අඩු අල්පේශාක්‍ය දිව්‍ය ආත්මයකි. එනම් අල්පේශාක්‍ය දෙවියෙකි.

සක්දෙවිඳුගේ රියැදුරු මාතලී දිව්‍යපුත්‍රයා වන අතර වීණාව වයන්නා පංචසික නම් වේ. ඔවුන් ද අල්පේශාක්‍ය දෙවිවරුන් ය.

සක්දෙවිඳුගේ ශක්‍ර භවන මහාමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජයන්ති ප්‍රාසාදයේ වේ යැයි පුරාණ පොත පතේ සඳහන්ය. සක්දෙවිඳුන්ගේ ආයුධය ප්‍රබල වජ්‍රායුධයයි. වජ්‍රායුධ මුළු විශ්වයටම ඇත්තේ එකකි. මෙම ආයුධය විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් නිර්මාණය කර ඇත. වජ්‍රය යනු මහා බලසම්පන්න ආයුධයකි. වජ්‍රය මගින් සක්දෙවිඳු අකුණු, විදුලි, වැසි, කුණාටු ආදිය ඇති කරයි. එනිසාම සක්දෙවිඳු වැසි කුණාටු ඇති කරන දෙවියන් ලෙස ද නම්දරා ඇත. මීට අමතරව වජ්‍රය මගින් සක්දෙවිඳු සමාජයේ වෙසෙන අදම නපුරු මිනිසුන්ට මෙන්ම අහිංසකයන්ට බොරු චෝදනා කරන, ගරහන අයට ද දඬුවම් කරයි. අකුණු සර වැදී මියයන්නේ මේ භවයේ හෝ පෙර භවයක එවන් පාපක්‍රියා කළ අය වේ.

අධර්මිෂ්ඨ පුද්ගලයන්ට ශක්‍රයා දඬුවම් කළ ද යහපත් ධාර්මික අයට පිහිට වේ. මනුෂ්‍යයන්ට ඇතිවන කරදර, කම්කටොලු දුරු කර දමයි. එමෙන්ම චක්‍රවර්තී රජ කෙනෙක් නොමැති කාලයන්හිදී මනුෂ්‍ය ලෝකය පාලනය කරනුයේ ද සක්දෙවිඳුන් විසිනි. මන්ද සක්දෙවිඳුන් මනුෂ්‍යයන්ට පිහිටවීමේ ගුණයෙන් යුතු දෙවියකු වන බැවිනි.

සක්දෙවිඳුගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනයයි. මෙය ගල් ආසනයකි. මනු ලොව සිල්වත් , ගුණවත් අයකුට අකටයුත්තක් වන විට එය රත්වීම සිදුවේ. එවිට සක්දෙවිඳු එම තැනැත්තාට පිහිටවීම සඳහා මනුලොවට පැමිණෙනු ඇත. වජ්‍රය අත නොදරන සෑම අවස්ථාවකදීම සක්දෙවිඳු වජ්‍රය තැන්පත් කරනුයේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මතය.

සක්දෙවිඳුට ඇස් දහසක් ඇත. එම ඇස්වලින් මනුලොව වගතුග නිතර සොයා බලයි. සක්දෙවිඳු හතර පෝය එනම් පුර පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක පවතින දිනයන්හි මනුලොවට වැඩම කරන බව ධර්මයේ සඳහන් වේ. ඒ යාචකයකුගේ වෙස් ගෙනය. එම නිසා මාසයේ හතර පෝය තුළදී තමා ළඟට විත් මුදල් යදින යාචකයන්ට හැකි පමණින් දන්දීම ඉතා උචිතය. මන්ද ඒ ඔබ ළඟට විත් සිඟමන් යදින්නේ යාචක වෙසින් සිටින සක්දෙවිඳුන් විය හැකි බැවිනි.

සක්දෙවිඳුන් විවිධ නම්වලින් විවිධ රටවල අදහනු ලබයි. පිංපෙත් අනුමෝදන් කරනු ලබයි. අපද සක්දෙවිඳුන් ඇදහීම, විශ්වාස කිරීම කළ යුතුය. අප සිදුකරන යහපත් ක්‍රියාවලින් ජනිත වන පිං උන්වහන්සේට අනුමෝදන් කළ යුතුය. තවද සක්දෙවිඳුන් බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි උත්තමයකු බව ද අප සිහියේ තබාගත යුතුය. අද සමාජයේ සක්දෙවිඳු සංකල්පයක් යැයි කියමින් උන්වහන්සේට අපහාස අවමන්, උසුළු විසුළු කිරීම නිතර දැකගත හැක. නමුත් සක්දෙවිඳු සංකල්පයක් නොවන බවත් උසුළු විසුළු කිරීම මහා පාපකර්මයක් බවත් ඉහත කරුණුවලින් සැවොම වටහා ගත යුතුය.

සක්දෙවිඳුට ඇති මහා පිං මහිමය හේතු කොටගෙන උන්වහන්සේ කිසිදු දිනක මහලු භාවයට පත් නොවේ. ශක්‍ර දෙවියන්ට විශාල භාර්යාවන් ප්‍රමාණයක් සිටිය ද ප්‍රධාන භාර්යාව වන ඉන්ද්‍රාණි දේවිය ද වයසට යෑමක් සිදු නොවේ. ශක්‍ර දෙවියන් තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත්වන දෙවියකු වුව ද සම්බුද්ධ ශාසනයේ පුණ්‍යකර්ම සැදැහැ සිතින් අනුමෝදන් වේ.

ශක්‍ර දේවත්වයට පත්වන සක්දෙවිඳු තුළ අනිවාර්යයෙන් දැකගත හැකි ගුණාංග හා ලක්ෂණ ගණනාවකි. ශක්‍ර දේවේන්ද්‍රයන් එතරම් උසස් වුව ද අන්‍ය දෙවිවරුන්ට ගෞරව කිරීම වැඳීම සිදු කරයි. ශක්‍ර දේවේන්ද්‍රයන් තුළින් පිටවන ආලෝකය හා තේජස අනෙක් දෙවිවරුන්ට වඩා වැඩි ය. සක්දෙවිඳු ගන්නා තීරණවලට අනෙක් සියලු දෙවිවරුන් එකඟ වේ. සක්දෙවිඳු තමා සතු සිල් බිඳගැනීමකින් තොරව රැකගනී. මීට අමතරව දෙව්ලොව සිටින සියලුම දෙවිවරුන්ට වඩා සක්දෙවිඳුන්ට පිං වැඩිය.

සක්දෙවිඳු පන්සියපනස් ජාතක පොත්වහන්සේ තුළ ජනප්‍රිය චරිතයක් වනවා මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ හෙණරාජ තෛලය සඳහා යොදාගන්නේ ද හෙණරාජ දෙවියන් වන ශක්‍ර දේවේන්ද්‍රයන්ය.

දහසක් නුවන් ඇති, අති ප්‍රබල වජ්‍රය අත දරන පාණ්ඩුකම්බල ශෛලාසනය මත විරාජමානව වැඩහිඳින දෙවියන්ගෙත් මහ දෙවි, මහා තෙදඇති, මහා බල ඇති, මහා පිං ඇති සෝවාන් ඵලය පිහිටියාවූ ශක්‍ර දේවේන්ද්‍රයාණන්ට මගේ නමස්කාරය වේවා!

Leave A Comment