අදුනක් නිවැරදිව සාදාගෙන ජීවම් කර බලන ආකාරය (මුල් සිට අගට)
- Editor
- September 28, 2025
- ගුරුකම්, පූජා භාණ්ඩ
- 0 Comments
අඳුන් වර්ග බොහෝමයක් ඇත. දේව අඳුන්, යක්ෂ අඳුන්, ප්‍රේත අඳුන්, පාතාල අඳුන්, කරුවළ අඳුන් සහ වෙනත් අමනුෂ්‍ය බලපෑම් මත ක්‍රියාත්මක වන්නා වූ අඳුන් ශාස්ත්‍රය තුළ ගැබ් ව ඇත. එයින් බෙහෙත්, තෙල්, ශාක, සත්ත්ව කොටස් ගෙන සකසා ගන්නා අඳුන් බොහොමයක් ඇත. ඇසේ ගා බලන නේත්‍රා අඳුන්, පීරිසියේ ගා බලන අඳුන්, හෙප්පුවේ ගා බලන අඳුන්, ජල බඳුනෙන් බලන, පහනෙන් බලන අඳුන්, තැඹිලි ගෙඩියෙන් බලන අඳුන්, නියපිට ගා බලන අඳුන්, තඹ පත්හිරු තුළින් බලන අඳුන් අතුළුව නොයෙක් ලෙස අඳුන් බැලීම සිදු කරයි.
මේ කුමන ආකාරයෙන් අඳුන් බලනු ලැබුවද එය ක්‍රියාත්මක වනුයේ අදාළ ඖෂධ, නැකැත් හා ඊට අදාළ මන්ත්‍ර බල සහ එයට පැමිණෙන්නා වූ ඒ ඒ අමනුෂ්‍ය බලපෑම මතය. බොහෝ විට අඳුනක් බැලීමට හනුමන්තාගේ පිහිට හා අංජනන් දේවියගේ පිහිට ගනු ලබයි.
අඳුනක් සෑදීමේදී පුරපක්ෂය යොදා ගැනීම ඉතා සුබ වේ. එසේම තමන් සොයා ගනු ලබන ඖෂධ වර්ග කිල්ලට හසු නොවන ලෙස පිරිසුදුව ගත යුතුය. ඖෂධ වර්ග කිලි හරණය කර ගන්නේ නම් ඉතා හොඳයි. තවද අඳුන සාදා ගන්නා ස්ථානයද ශුද්ධ භූමියක් විය යුතුය.
ඖෂධ වර්ග වියළා ගත යුතුය. එය පුලුස්සා ගත යුත්තේද තුන්පොළට බිඳුණු හට්ටියක් හෝ මුට්ටියක් තුළය. එය ඇඹරීම සඳහා උදලු තැටියක්, පැතලි ගලක් අවශ්‍ය වේ. එම ගල මටසිලිටු විය යුතුය. ඖෂධ ඇඹරීමට ගන්නා ගලට යටින් කාසියක් දමා ඇඹරීම සිදු කරයි. එයින් බලාපොරොත්තු වනුයේ එම ඖෂධයේ පදම එන විට ගල පසාරු වී එම කාසිය පෙනෙණු ලබන බව බොහෝ පැරැණි පොත්පත් වලද ඇතුලත්ව ඇත. තවද නියම පදම එන විට තද සුළඟක් හැමීම, බඹරුන්, දෙබරුන්, මී මැස්සන් හෝ කුරුමිණියන් පැමිණ එම බෙහෙත බීම හෝ ස්පර්ශ කරනු ලබයි.
ඖෂධ ගැනීමේදී ශාකවල මුල් ගැනීම සඳහා ඊට අදාළ නියමිත මන්ත්‍ර ඇත. සමහර අඳුන් සෑදීමේදී අවශ්‍ය බෙහෙත් බඩු සොයා ගැනීම ඉතා අපහසු කාර්යයකි. නොකරන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සොයන්නා සේ ප්‍රයෝජනයට ගත නොහැකි අඳුනක් දැනුම සඳහා මගේ ලිපි කියවන ඔබලාට තිළිණ නොකරමි. මා මෙහි සඳහන් කරන අඳුනෙහි ඖෂධ සොයා ගත හැකිය. මෙය සත්‍ය අත්දුටු අඳුනකි.
අඳුන බැලීමේදී බල්ලන් විසින් සපා කෑ අයද, මළ මිනී උස්සන් ගිය අයද ඉලව් බත් කෑ අයටද අඳුන නොපෙනේ. බළල් ඇස් ඇති අයටද සියුම් ලෙස ඇස් පෙනෙන අයටද ඉතා හොඳින් අඳුන පෙනේ. මෙයද වරමක් නිසා ඉතා පිරිසුදුව සියලු කටයුතු කළ යුතුය.
අංජනමට අවශ්‍ය ඖෂධ වර්ග:
විෂ්ණුක්‍රාන්ති, දිවි පහුරු, සාමදාන, රත්කරල් සෑ බෝ, පෙණළ මෙකී මුල් සමව ගෙන ඊට අංජනම් කැට, සුදු හඳුන් සමව ගෙන හැපුම් කබලෙන් බැද එඬරු තෙලෙන් ඇඹරිය යුතුය.
බෙහෙත ඇඹරීමට ප්‍රථම ගම්භාර දෙවිට හා අඩවිය භාර දෙවියන්ට පහන් පත්තු කර සුවඳ දුම් අල්ලා ආරාධනා කොට භාරයක් වන්නේ නම් හොඳා.
අඹරන මතුර:
ඕං යක්ෂ දිෂ්ටි, භූත දිෂ්ටි අභූත දිෂ්ටි වර යක්ෂයා දිෂ්ටි දිෂ්ටි ඒස්වාහාඃ
මේ මන්ත්‍රය මතුරමින් අඹරන්න.
පහන් තිර රෙද්ද ඉරා ගැනීමට:
ඕං රාක්ෂ රවි ජේ ජේ ස්වාහාඃ
පහන් තිර අඹරා ගැනීමට:
ඕං ජ්වලිත ජ්වලිත අති දිශා යේස්වාහාඃ
පහන දල්වන විට:
ඕං ආතාල බන්ධ පාතාල බන්ධ මණ්ඩල බන්ධ බන්ධ බන්ධ ඒස්වාහාඃ
අඳුන් හෙප්පුවට:
ඕං අසුරා බිහි කන්ද කුමරා අසුරා බිහිවාරුන් වාරුන්
හෙප්පුවට අඳුන් බැස්සීමට:
ඕං කියන මන්ත්‍ර ආනුභාවෙන් ජීවන ජීවනේ ස්වාහඃ
අඳුන ඇඹරීමේදී එක් දිනයකින් එය නිමා නොකළ හැකි බව වටහා ගන්න. සමහර විට නියම පදම ගන්නා විට දින කිහිපයක් ගත විය හැකිය. එනිසා එය ඇඹරීමට කිහිපදෙනකු හෝ සහභාගි කරගන්නේ නම් පහසුවක් වනු ඇත.
හෙප්පුවට අඳුන ගත් පසු මල් බුලත් තටුව සෑදිය යුතුය. ඒ සඳහා සුවඳ පළතුරු නවයක් හෝ ඊට වැඩියෙන් කැවුම්, කිරිබත්, අග්ගලා ඇතුළු කැවිලි වර්ග නවයක් හෝ ඊට වැඩියෙන් තබන්න. පහත මන්ත්‍රයෙන් මල් බුලත් තටුවට දුම් ඇල්ලීමට සාම්බ්‍රානි 108 වර ජීවම් කර පළමුව තබා ගන්න.
“ඕං ජීවප්‍රාණ අස්තප්‍රාණ අභූත ප්‍රාණ අජීව ප්‍රාණ ප්‍රාණ ඒස්වාහඃ ඕං ඉරු දිෂ්ටි සඳු දිෂ්ටි නීල දිෂ්ටි වර්ණ දිෂ්ටි දිෂ්ටි දිෂ්ටි එස්වාහඃ ඕං නමෝ යක්ෂ දිෂ්ටි අභූත දිෂ්ටි ප්‍රේත දිෂ්ටි ප්‍රාණ දිෂ්ටි විෂ්ණු දිෂ්ටි කන්ද කුමාර දිෂ්ටි සුර දිෂ්ටි අසුර බවන දිෂ්ටි හිම දිෂ්ටි හිමාල දිෂ්ටි ජීවන දිෂ්ටි ජල දිෂ්ටි ජල භූම දිෂ්ටි ආතාල දිෂ්ටි පාතාල දිෂ්ටි අනෙක දිෂ්ටි දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඃ
අඳුන ජීවන් මන්ත්‍රය:
ඕං ත්‍රීතාජාන් තා බුලාවා කාලී මන්ත්‍රිණා කාලී ජෝතිරංග කාලී නිල් හපුලි බරිතා ඕං ඕං තාකාලී මදන රාහු කේන්ද්‍රා කාලී රාහු නිල් කාලී පේස රාහු පේරුන් දිෂ්ටි දිෂ්ටි වා වා
(මින් අඳුනට දුම් දෙමින් 1008 වර මතුරා ගන්න.)
ඒ අතර
“ඕං අග්‍රරාජ බන්ධ ඉවරාජ බන්ධ ප්‍රදේ බන්ධ ප්‍රදේරාජ බන්ධ ලල ලල කෝසා බන්ධ අට කොන බන්ධ බන්ධ බන්ධ ඒස්වාහඃ
යනුවෙන් මතුරන අතර මෙම මන්ත්‍රය ජීවම් කරන්න. නියමිත ලෙස ජීවම් වූ පසු පලිප්පු ආදිය යොදන්න. ඉන්පසු අඳුන බලන තැනැත්තාට කිලි හරණය කළ පැන් ටිකක් ගා සියලු දෙවියන් හා ඉෂ්ට දේවතා සිහිකර අඳුන බලන ලෙස කියන්න.
පළමුව සූනියම් දෙවිඳු දුටුවහොත් සිහිනැති වීමට ඉඩ ඇත. ඒ නිසා ශාන්ත ස්වරූපයෙන් වඩින ලෙස ආයාචනා කරන්න. හනුමන්තා පැමිණෙන්නේ නම් විශාල වෘක්ෂයක් පළමුව පෙනේ. ඒ ඒ දෙවි-දේවතාවුන් වඩින විට විවිධත්වයක් ඇති කෙරේ.

