ග්‍රහ අපල දූරුකරන සරල පිළිවෙත් කිහිපයක්
- Editor
- October 23, 2025
- ජෝතිෂ්‍ය
- #jothishya, Astrology, Garha apala
- 0 Comments
රවිට
ඊශ්වර, කතරගම, දෙවියන්ට සෙත් කවි කීම, දේව පූජාවන් පැවැත්වීම, රතු මල් පූජා කිරීම, දෙවියන්ට බාරවීම, කිරි ගවයින්ට ආහාරදීම සහ සාත්තු කිරීම, ඉඹුල් පැලයක් නිවෙසට නැඟෙනහිර දිශාවේ සිටුවා සාත්තු කිරීම, දිනපතා බෝධි පූජා පැවැත්වීම යහපත් ප්‍රතිඵල ගෙනදේය.
සඳුට
සමන් දෙවියන්ට, පත්තිනි මෑණියන්ට සෙත් කවි කීම, බාරහාර වීම, ගජ ඇතුන්ට ආහාරදීම, සාත්තු කිරීම කරන්න, දුප්පතුන්ට සුදු රෙදි පරිත්‍යාග කරන්න. කහ මල් , සුදුමල් පූජා කරන්න. දිවුල් පැලයක් නිවෙසට වයඹ දිශාවේ සිටුවා සාත්තු කිරීම බෝධි පූජාවන් තැබීම ගුණ ගෙනදේය.
කුජට
කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, බාරහාර වීම, සෙත් කවි කීම, මොනරුන්ට ආහාරදීම, ළමා නිවාසයකට ආහාර ලබාදීම, කොළොන් පැළයක් නිවෙසේ දකුණු දිශාවේ සිටුවා සාත්තු කිරීම, රතු මල්, කහ මල් පූජා කර බෝධි පූජා තැබීමෙන් කුජ අපල දුරුවේය.
බුධට
ශ්‍රී විෂ්ණු දේව නාමයට සෙත් කවි කීම, ජීවිත බාරයක්වීම, කුකුළන්ට ආහාරදීම, සාත්තු කිරීම, නිල් මල්, මදුරු තලා පත්‍ර පූජා කිරීම, බෝධි පූජා පැවැත්වීම, නිවෙසට උතුරු දිශාවෙන් කොහොඹ පැලයක් සිටුවා සාත්තු කිරීම, ග්‍රහ අපල දුරුවී නිරෝගී සුවය ලැබෙනු ඇත.
ගුරුට
මහා බ්‍රහ්ම, දැඩිමුණ්ඩ දෙවියන්ට පුද පූජාවන් තබා බාරවෙන් කිරීම, සෙත් කවි කීම, හංසයන්ට සහ කුකුළන්ට ආහාර දීම, මෙහෙණින් වහන්සේනමකට දානයක් දීම, බෝධි පූජා පැවැත්වීම, පූජනීය ස්ථානයක ඊශාන දිශාවෙන් බෝ පැළයක් සිටුවා සාත්තු කිරීම යහපත් වේ.
කිවිට
පත්තිනි මෑණියන්ට, ඉන්ද්‍රා දෙවිඳුට, මහා භද්‍රකාලි මෑණියන්ට පූජා පවත්වා සෙත් කවි කීම, බාරහාර වීම කහ මල්, රතු මල්, සුදු මල් පූජා කිරීම, නිවෙසට ගිනිකොන දිශාවෙන් කරඳ පැලයක් සිටුවා සාත්තු කිරීම.
ශනිට
ශ්‍රී විෂ්ණු දෙවියන්ට, බ්‍රහ්ම දෙවියන්ට, සරස්වතී දේවියට පුද පූජා පැවැත්වීම, බාරහාර වීම, සෙත් කවි කීම, කුකකුළන්ට, හංසයන්ට ආහාරදීම, සාත්තු කිරීම, කපුටන්ට, සුනඛයින්ට සෙනසුරාදා දින ආහාරදීම, කළු වස්ත්‍ර දන්දීම, නිල් මානෙල් මල්, නිල් කටරොඩු මල් හැකි තරම් පූජා කිරීම සෙනසුරාදා දින ගිතෙල් මිශ්‍ර කිරි ආහාර බෝධියකට පූජා කර බෝධි පූජා පැවැත්වීම නිවෙසට බටහිර දිශාවෙන් නුග පැළයක් සිටුවා සාත්තු කිරීමෙන් ඒරාෂ්ටක අපලය දුරුවේය.
රාහුට
සිද්ධ සූනියම් දෙවිඳුට පිච්ච මල් මාලයක් පලන්දවා, නාග රූපයක් පූජා කර සෙත් කවි කීම, බාර වෙන් කිරීම, කිරි ආහාර, විළඳ, මී පැණි පූජා කිරීම අශ්වයන්ට ආහාරදීම, සාත්තු කිරීම, වැටකේ මල්, සුදු මල් පුදා බෝධි පූජා තැබීම, නිවෙසට නිරිත දිශාවෙන් වැටකේ ගසක් සිටුවා සාත්තු කිරීම ගුණ ගෙන දේය.
කේතුට
කතරගම දෙවිඳුට ගණ දෙවිඳුට පුද පූජා තැබීම සෙත්කවි කීම, බාරවීම, මොනරුන්ට ආහාර දීම, සුදු මල්, රතුමල්, කහ මල්, පුදා බෝධි පූජා තැබීම, කෙසෙල් ගසකට සාත්තු කිරීම යහපත් ප්‍රතිඵල ගෙනදේය.
මේ සියලුම පුද පූජා මත්පැන් පානයෙන් තොරව ගව මස්, ඌරුමස් කෑමෙන් වැළකී සිදු කළ යුතුය. නැතිනම් ඔබට අහිතකර ප්‍රතිඵල ගෙන දේය. අදාළ ග්‍රහයන්ට නියමිත යන්ත්‍ර නිවැරැදිව සකස් කර ගෙල පැලඳවීමද අපල දුරුවී නීරෝගී සුවය උදාවනු ඇත.

