සතරවරම් දෙවිවරු කියන්නේ කවුරුන්ද..?
- Editor
- December 15, 2025
- දෙවිවරු
- #Deviyo, Satharawaram Deviyo
- 0 Comments
සතර වරම් දෙවිවරුන් බුදුදහමට අතිශයින්ම සමීප, බොහෝ තැන්වලදී ත්‍රිපිටකය තුළ සඳහන් වන දෙවිවරු සතර දෙනෙකි. මහා බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමේ පටන්, පිරිනිවන්පාන අවස්ථාව දක්වා ම බුද්ධ චරිතය හා සම්බන්ධතාවය ඇති මේ සතරවරම් දෙවිවරුන් පිළිබඳව මෙම ලිපියෙන් කෙරෙන්නේ ත්‍රිපිටක අටුවාගත කරුණු විමසා බැලීමකි.
මීට සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසතුමා ලෙස මහා බෝධිසත්වයන් වහන්සේ දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්හ. දීපංකර බුදු පියාණන් වන වහන්සේ බෝධි සත්වයින් වහන්සේට මල් අට මිටකින් පුජා කර, පැදකුණු කර වැඩම කළ පසු, දෙව්මිනිසුන් ද මහා බෝධිසත්වයන් වහන්සේට පූජාකොට ගෞරව කර ගිය බව ජාතක අටුවාවේ සඳහන් වේ. පූජාවලියෙහිද සඳහන් වන්නේ මේ අවස්ථාවට එකළ සිටි සතර වරම් දෙවිවරු ද සහභාගි වූ බවයි.
ඉන්පසුව ජාතකට්ඨ කථාවේ නිධාන වර්ණණාවේ එන්නේ බෝසත් මව වන මහාමායා දේවිය, උපෝසථය සමාදන් වී නිදාගෙන සිටින විට දුටු සිහිනය යි.
සතරවරම් දෙවි මහ රජවරු මහාමායා දේවිය සැතපී සිටි යහන සමඟම ඔසවා හිමාලයට ගෙන ගොස් හැට යොදුනක් පමණ විශාල රත් ගල්තලාවක සත් යොදුන් පමණ මහ සල් ගස් දෙකක් යට තබා, ඉවත්ව ගිය බවයි. එවිට සතරවරම් දෙවියන්ගේ භාර්යාවන් වන දේවතාවියන් සතර දෙනා පැමිණ, මහාමායා දේවිය අනෝතත්ත විලට ගෙන ගොස්, මිනිස් මළ හැරීම පිණිස නහවා, දිව්‍යමය වස්ත්‍ර හදවා, සුවඳ උලා, දිව මල් පළඳවා, ඒ ළඟ තිබුණ රිඳී පර්වතය තුළ රන් විමනක පෙර දිගට හිස ලා දිව්‍ය යහනෙහි සැතපවූ බවයි. මෙතනදි සතරවරම් දෙවියන්ගේ දේව්තාවියන් සතර දෙනා ගැන ද සඳහන් වීම විශේෂත්වයකි. පූජාවලියේද මෙය විස්තර වශයෙන් දැක් වේ.
මහා බෝධිසත්වයන් වහන්සේ මවු කුස පිළිසිඳ ගත් මොහොතේ පටන් උප්පත්තිය ලබන මොහොත දක්වා බෝධිසත්වයන්ට හා බෝසත් මවට කිසිදු කරදරයක් ඇති වෙන්නට නොදී ආරක්ෂා කරගන්නට කඩුගත් අත් ඇති දිව්‍ය පුත්‍රයෝ හතර දෙනෙක් ආරක්ෂාවට සිටි බව ජාතක අටුවාවේ සඳහන් වේ.
එයම මජ්ඣිම නිකායේ එන අච්ඡරියබ්භූත සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේයි.
”යදා ආනන්ද! බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, චත්තාරො නං දෙවපුත්තා චතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්ති. මා නං ඛො බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමනුස්සො වා කොචි වා විහෙඨෙසීති”
“ආනන්දය, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිලිසිඳ ගන්නේ වේ ද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි සතර වරම් මහ රජ දරුවන් සිවුදිග ආරක්ෂා පිණිස ඔහු කරා පැමිණෙතී.”
බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවන වන දිනයේ රැස්ව සිටි රාජකීය පිරිස තිරයකින් වටකොට ඉවත් වූ පසුව, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් සතර දෙනෙක් රන් දැලකින් බෝධිසත්වයන් වහන්සේ පිළිගත්හ.
ඒ සුද්ධාවාස බ්‍රහ්මයන්ගේ අතින් මහා බෝධිසත්වයන් වහන්සේව පිළිගත්තෙ සතරවරම් දෙවිවරුයි. ඔවුන් මංගල සම්මත සුව පහස ඇති දෙතුන් පට කළ අඳුන් දිවි සමින් බෝධිසත්වයන් වහන්සේව පිළිගත්හ.
ඉන් පසුව සතරවරම් දෙවියන්ගේ අතින්, මනුස්සයින් විසින් මහා බෝධිසත්වයන් වහන්සේව දුහුල් පිළිසුඹුළුවකින් පිළිගන්නා ලදී.
“යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අප්පත්තොව බොධිසත්තො පථවිං හොති. චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති: අත්තමනා දෙවි හොහි, මහෙසක්ඛො තෙ පුත්තො උප්පන්නොති.”
“ආනන්දය, යම් කලෙක බෝධි සත්වයන් වහන්සේ මව් කුසින් නික්මේද, බෝධි සත්වයන් වහන්සේ බිමට පැමිණීමට පළමුව, දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් (සතර වරම් දෙවිවරු) ඔහු පිළිගෙණ ‘දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේයයි’ මව ඉදිරියෙහි තබත්.”
අච්ඡරියබ්භූත සූත්‍රයට අනුව එම ප්‍රකාශය සතරවරම් දෙවිවරු විසින් කරනු ලබයි.
ඉන්පසු අපට සුජාතා සිටු දියණියගේ කිරි පිඩු දාන අවස්ථාවට සතරවරම් දෙවිවරු සහභාගි වූ ආකාරය ජාතකට්ඨ කථාවේ මෙසේ සඳහන් වේ.
“තස්මිං සමයෙ චත්තාරො ලොකපාලා ආගන්ත්වා උද්ධනෙ ආරක්ඛං ගණ්හිංසු”
“එසමයෙහි ලෝපාලක දෙවියෝ සතරදෙනා පැමිණ කිරිබත පිසෙන උඳුනේ සිවුදිග ආරක්ෂාව ගත්හ.”
මනෝරථපූරණි අටුවාවේ එහි සම්පූර්ණ විස්තරයක් සදහන් වේ.
“මහාබ්රහ්මා ඡත්තං ධාරෙසි. චත්තාරො ලොකපාලා ඛග්ගහත්ථා ආරක්ඛං ගණ්හිංසු. සක්කො අලාතානි සමානෙන්තො අග්ගිං ජාලෙසි”
“මහා බ්‍රහ්මයා පැසෙන කිරිබතට සේසත දැරූහ. ලෝකපාලක දෙවිවරු සතර දෙනා කඩුගත් අත් ඇතිව ආරක්ෂාව ගත්හ. ශක්‍ර දේවේන්ද්‍රයන් දර ගෙනවුත් ගිනිදැල් වූහ.” එම අවස්ථාවේදී ද සතරවරම් දෙවිවරු විසින් ආරක්ෂාවම සලසන ලදී.
ඉන්පසු දස මාර සේනාව පරාජය කර ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූ භාග්‍යවතුන් වහන්සේට සතර වරම් දෙවිවරු විසින් ශෛලමය පාත්තර හතරක් පූජා කල ආකාරය මහාවග්ග පාලියේ මෙසේ සඳහන් වේ.
“අථ ඛො භගවා එතදහොසි, න ඛො තථාගත හෙත්ථසු පතිගණහන්ති, කිම්භිනුඛො අහං පතිගණ්හෙය්යං මත්ථඤ්ච මධුපිණ්ඩිකඤ්චාතී. අථ ඛො චත්තාරො මහාරාජා භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය චතුද්දිසා චත්තාරො සෙලමයෙ පත්තෙ භගවතො උපනාමෙසුං ඉධ භන්තෙ භගවා පතිගණ්හාතු මත්ථඤච මධුපිණ්ඩිකඤ්චාතී”
“එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. ‘තථාගතයන් අතින් පිළි නොගනිති. මම කුමකින් අත්සුණු ද මී පිඬු ද පිළිගන්නෙම් ද? එකල සතරවරම් රජවරු තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ නොනිමි කල්පනාව දැන සිවුදිගින් ශෛලමය වූ පාත්‍රා සතරක් ‘ස්වාමිනි! භාග්‍යවතුන් වහන්සේ මෙයින් අත්සුණු ද මී පිඬු ද පිළිගන්නාසේක්වා’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළි ගැන්වූහ.”
මහා බෝධිසත්වයන් වහන්සේ පැවිදි වූ දින මහා බ්‍රහ්මයා විසින් දුන් අටපිරිකරයෙහි තිබුණු පාත්තරය කිරිපිඬු දානය පිළිගන්නා මොහොතේ අතුරුදහන් විය.
කිරිපිඩු දානය පිළිගත් පාත්තරය අනෝමා ගඟෙහි පා කළ පසුව උඩුගම් බලා ගොස් නාග ලෝකයට ගියේය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පසු ව පළමු දානය වළඳන්නට පාත්තරයක් තිබුණේ නැත.
ජිනචරිතයෙහි වෙළඳ දෙබෑයන් විසින් පූජා කරන ලද මී පැණි විළඳ පිළිගන්නට සතර වරම් දෙවියන් විසින් පූජා කළ පාත්‍රය පිළිගත් බව මෙසේ සඳහන් වේ.
“වාණිජෙහි සමානීතං
සමත්ථමධුපිණ්ඩිකං;
මහාරාජූපනීතම්හි
පත්තම්හි පතිගණ්හිය.”
“වෙළෙඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද මීපැණි විළඳ දානය සතරවරම් දෙවියන් විසින් පූජා කරන ලද පාත්‍රයෙහි පිළිගන්නා ලදී.”
දාඨාවංශයේ එය මෙසේ සඳහන් වේ.
“දුමෙ’පි රාජායතනෙ සමාධිනා,
විහාසි රත්තින්දිව සත්තකං මුනි;
සහස්සනෙත්තො අථ දන්තපොණකං,
මුඛොදකඤ්චාපි අදාසි සත්ථුනො.”
“තතො මහාරාජවරෙහි ආභතං
සිලාමයං පත්ත චතුක්කමෙකකං;
විධාය මත්ථං මධුපිණ්ඩිකං තහිං
පටිග්ගහෙත්වාන සවාණිජාහටා.”
රාජායතනයෙහි දින හතක් ගත කළ බුදුරජාණන් වහන්සේට, ශක්‍රයා විසින් දැහැටිද මුව දෝවනාදියද පූජා කරන ලදී. එහි පැමිණි සතරවරම් දෙවිවරු විසින් පූූජා කරන ලද ශෛලමය පාත්‍ර හතර එකක් ලෙස අධිෂ්ඨාන කොට ගෙන, මී පැණි විළඳ එහි පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වළදන්නට විය.
මින් පසුව භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම විටින් විට සතරවරම් දෙවිවරුන්ගෙන් සම්බන්ධතාවය ත්‍රිපිටකය පුරා සඳහන් වේ.
ධතරට්ඨ, විරූළ්හක, විරූපාක්ෂ, වෛශ්‍රවණ ලෙස හදුන්වන්නේ ඒ සතර වරම් දෙවිවරුයි. මහා ගෝවින්ද සූත්‍ර වර්ණණාවේ සතරවරම් දෙවියන් ගැන මෙසේ සඳහන් වේ.
ධ්‍රතරාෂ්ඨ දිව්‍ය රාජයා (ධතරට්ඨ)
මේ සතරවරම් දෙවිවරු අතරින්, ධතරට්ඨ දිව්‍ය රාජයා කෝටි ලක්ෂයක් ගාන්ධර්වයින්ට අධිපති දෙවියන් වේ. ඔහු කෝටි ලක්ෂයක් රන්මුවා පලක ද රන් සැත් ද ගන්වාගෙන නැගෙනහිර දිසාවේ සිට බටහිර දිසාව බලාගෙන සිටින ආරක්ෂා කරන දෙවියන් වේ.
විරූළ්හක දිව්‍ය රාජයා (විරූඪ)
සතර වරම් දෙවිවරු අතරින් විරූළ්හක දිව්‍ය රාජයා කෝටි ලක්ෂයක් කුම්භාන්ඩයින් ට අධිපති දෙවියන් වේ. ඔහු කෝටි ලක්ෂයක් මිණිමුවා පලක සහ රන් සැත් ගන්වාගෙන දකුණු දිසාවේ සිට උතුරු දෙස බලාගෙන සිටින ආරක්ෂා කරන දෙවියන් වේ.
විරූපාක්ෂ දිව්‍ය රාජයා (විරූපක්ඛ)
සතර වරම් දෙවිවරු අතරින් විරූපාක්ෂ දිව්‍යරාජයා කෝටි ලක්ෂයක් නාගයින්ට අධිපති දෙවියන් වේ. ඔහු කෝටි ලක්ෂයක් මිණිමුවා පලකද රන් සැත් ද ගන්වාගෙන බටහිර දිසාවේ සිට නැගෙනහිර දිශාව බලා සිටින ආරක්ෂක දෙවියන් වේ.
වෛශ්‍රවණ දිව්‍ය රාජයා (වෙස්සවණ)
සතරවරම් දෙවියන් අතරින් වෛශ්‍රවණ දිව්‍යරාජයා කෝටි ලක්ෂයක් යක්ෂයින්ට අධිපති දෙවියන් වේ. ඔහු කෝටි ලක්ෂයක් පබළු පලක ද රන්සැත් ද ගන්වාගෙන උතුරු දිසාවේ සිට දකුණු දිසාව බලා සිටින ආරක්ෂක දෙවියන් වේ.
ධතරට්ඨ දෙවියන්ගේ විස්තර
සතරවරම් දෙවිවරු අතරින් ධ්‍රතරාෂ්ඨ දිව්‍යරාජයා ගන්ධර්වයින්ට අධිපති දෙවියන් වේ.
ගන්ධර්වයින් කියන්නේ ගන්ධබ්බ කායික දෙවිවරු වේ. ගන්ධබ්බ කායික දෙවිවරු කියන්නේ සුවඳට අරක්ගත් දෙවිවරු වේ.
“කතමා ච භික්ඛවෙ, ගන්ධබ්බකායිකා දෙවා? සන්ති භික්ඛවෙ, මූලගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, සාරගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ඵෙග්ගුගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, තචගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පපටිකාගන්ධෙ1 අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පත්තගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පුප්ඵගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ඵලගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, රසගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ගන්ධගන්ධෙ අධිවත්ථා දෙවා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, ගන්ධබ්බකායිකා දෙවාති.”
මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්.”
සතර වරම් දෙවියන් ගැන තවත් විස්තර සහ ඔවුන් දිව්‍ය ලෝකයේ එසේ උපදින්නට කරගත් පින්කම් ගැන සහ තවත් විස්තර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
ලිපිය සකස් කළේ:-
අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ

