Dark

Auto

Light

Dark

Auto

Light

දුර්ගා දේව මෑණියන් ගැන..

දුර්ගා දේවිය යනු පාර්වතී දේවිය හා සම්බන්ධ විශේෂ දෙවඟනකි. ඇය බලවත් දෙවියෙකු වන ශිව දෙවියන්ගේ බිරිඳ ලෙසද සැලකේ. බොහෝ කලකට පෙර, දුර්ගා පෘථිවියට පැමිණියේ මිනිසුන්ගේ වේදනාව, අයහපත් දේ සහ දුප්පත්කම ඉවත් කර ඔවුන්ට උපකාර කිරීමට බව කථා වල සඳහන් වේ. ඇය සැමට උදව් කිරීමට පැමිණි නිසා, ඇය දුර්ගා දේවිය ලෙස හැඳින්වේ.

කොටි වාහනාරූඪව විරාජමානව වැඩවාසය කරනු ලබන දුර්ගා දේව මෑණියන්ට අත් දහයකි. ඒ අනුව එම අත් දහයට ආයුධද දහයකි. එනම් කඩුව, තෝමරය, තැටිය, දුන්න, අංකුසය, හෙල්ල, යදම්වැල, ත්‍රිශූලය, කෙටේරිය සහ ජය සංඛය වේ. අතීතයේදී දෙවියන් හා අසුරයන් අතර පැවැති යුද්ධයේදී දැඩි කෝපයට පත්වූ මහේෂ්වරී දෙවඟනගේ හිසෙන් දුර්ගා දේව මෑණියන් මෙලොවට බිහිවූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

සුර අසුර යුද්ධයේදී දුර්ගා දේව මෑණියන් අසුරයාගේ හිස ගසා මරා දමා යුද්ධය ජයගෙන සියලුම දුක් වේදනා සහ දුර්භීක්‍ෂය නැති කළ බවද පැවැසේ. පුරාණයේ සිටම දුර්ගා දේව මෑණියන්ව ඉන්දියාවේ හින්දු බැතිමතුන් මෙන්ම ශ්‍රී ලංකාවේ හින්දු සහ බෞද්ධ බැතිමතුන් නව රාත්‍රි දිනයේදී පුද පූජාවන් තබා සිහිපත් කරනු ලබයි. විවාහ වීමෙන් පසු අවාසනාවන්ත ලෙස දුක් විඳින අයට සාර්ථක ලෙස තම ජීවිතය සැපවත් කර ගැනීමට දුර්ගා දේව මෑණියන් පිහිට වෙති. ප්‍රමාද වන විවාහය ඉක්මන් වීමට, සුරා සූදුව නතර කිරීමට, ශනි, කුජ, කේතු පාප ග්‍රහ අපල දෝෂ දුරු වීමට, දරු සම්පත් ලබා ගැනීමට සහ ධන සම්පත්ද ලබාගෙන සෞභාග්‍යය උදාකර ගැනීමට දුර්ගා දේව පූජාව ඉතා යහපත් වේ.

මෙම දුර්ගා දේව මෑණියන් උදෙසා පවත්වන දේව පූජාව හින්දු කෝවිල්වල හෝ ඕනෑම දේවාලයකදී දේව ගැතියකුට, දේව ගැතිවරියකට හෝ එසේ නැති නම් ඇදුරකුට වුවද කළ හැකිය. හැකි නම් ගුරු උපදෙස් ඇතිව තමන්ටද තම නිවෙසේදීම මෙම දේව පූජාව පැවැත්වීමට හැකියාව ඇත.

දුර්ගා මෑණියන් පිළිබඳව හින්දු දේව පුරාණයේ සඳහන් වන ආකාරය

සෑම වසරකම, නවරාත්‍රි උත්සවය ආරම්භ වන්නේ ඔක්තෝබර් මාසයේ පුර පසළොස්වක පොහොය දිස්වන විටය. මිනිසුන් දුර්ගා දේවියට නමස්කාර කරන නිසා පළමු දින තුන සහ රාත්‍රීන් විශේෂ වේ. දුර්ගා දේවිය සිංහයෙකු පිට නැගී සිටින ආකාරය පෙන්වන අතර ඇය මහා භද්‍රකාලි ලෙසද හැඳින්වේ. ඇය පාර්වතී දේවියගේ විවිධ ස්වරූප තුනකින් සමන්විත වේ. මෙම රාත්‍රී නවය තුළ, මිනිසුන් තවත් දේවතාවියන් තිදෙනෙකුට ද නමස්කාර කරති: දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී. මෙම දේවතාවියන් තිදෙනාම පාර්වතී දේවියගේ විවිධ වේශයන්වේ.

“සතුරන් නිසා ලෝකයේ ජීවත්වීම දුෂ්කරය. එසේ නම් අම්මා එය භාරගන්න” ගණ දෙවිඳු එසේ පවසන විට පාර්වතී මාතාව දුර්ගා අවතාරයෙන් පෙනී සිටියාය. “ධනය නොමැතිව ලොව කිසිවෙකුට ජීවත් විය නොහැකිය. එසේ නම් අම්මා එය භාරගන්න.” ගණ දෙවිඳුගේ ඒ ඉල්ලීමත් සමග පාර්වතී දේවිය ශ්‍රී ලක්ෂ්මි අවතාරයෙන් පෙනී සිටියාය. “ඥානය නැතිව ලොව කිසිවෙකුටත් ජීවත් වීම අසීරුය. අම්මා ඒ වගකීමත් භාර ගන්න” ලෙස ගණ දෙවිඳු පැවසූ විට පාර්වතී දේවිය සරස්වතී අවතාරයෙන් පෙනී සිටියාය. ඉතා බිහිසුණු රෞද්‍ර විලාශයෙන් පෙනී සිටි දුර්ගාදේවිය ශිව දෙවියන් පාගාගෙන සිටින චිත්‍ර සහ ප්‍රතිමා ඔබ දකින්නට ඇත. ඒ ඇයි?

මහා භද්‍රකාලී දෙවඟන දුර්ගා නමින් හඳුන්වන්නේ ඇයි?

‘දුර්ග’ නමැති බලගතු අසුරයා මරා දැමූ නිසා පාර්වතී දේවිය එතැන් සිට ‘දුර්ගා’ යන නම ලැබූ බව කියති. ශිව දෙවිඳුගේ බිරිය වන පාර්වතීගේ බිහිසුණු ප්‍රචණ්ඩ වේශය භද්‍රකාලි නම් වේ. මහීෂ නම් අසුරයා සුරයන් පරදවා ඔවුන් දෙව්ලොවෙන් පන්නා දැමුවේය. දෙවිවරු ආරක්ෂාව පතා බ්‍රහ්ම -විෂ්ණු- ඊශ්වර වෙත ගියහ. මහීෂ අසුරයා සිටින්නේ දෙවියනට තමන් මරා දැමීමට නොහැකි ලෙස බ්‍රහ්මයාගෙන් වරම් ලබාගෙනය. නමුත් දේවතාවියකට එම නීතිය බලපාන්නේ නැත. එනිසා දුර්ගාට පවසන්නැයි ශිව දෙවිතුමා දෙවිවරුන්ට දැන්වීය. දෙවිවරු දුර්ගා දේවියගේ සහාය පැතූහ. දුර්ගා ඊට කැමැති වූවාය. ලස්සන ශෝභමාන රුවකින් යුතු දුර්ගාට අත් දහසකි. මේ අත් දහසෙන් ආයුධ දරන්නීය. මේ බිහිසුණු ආයුධයන්ගෙන් සන්නද්ධ වූ දුර්ගා දේවිය වින්ද්‍යා කඳුවැටියට ගියාය. ඇය දුටු මහීෂ අසුරයා දුර්ගා අල්ලා ගැනීමට තැත් කළේය. මහා පර්වතයක් තරම් විශාල ඇත් වේශයක් මවාගත් අසුරයා දුර්ගාට පහර දීමට පැන්නේය. වහා ක්‍රියාත්මක වූ දුර්ගා ඒ ඇතා මතට පැන සිය නියපොතු ගසා ඇතුගේ සිරුර කැබලි කර දැමුවාය. ඉන් පසු යෝධ මීහරකකුගේ වෙස්ගත් අසුරයා (මහීෂ) ගස් ගල් උදුරා දුර්ගා දේවියට දමා ගැසීය. ඇය ත්‍රිශූලයෙන් ඇන මීහරකාට තුවාල සිදු කළාය. යළි අසුර වෙස් ගත් මහීෂ දහසක් අතින් දහසක් ආයුධ ගෙන සටනට ආවේය. දුර්ගා දේවිය තමන් වෙත කඩා පනින මහීෂ අසුරයාගේ දහසක් අතින් අල්ලා ගෙන අහසට නැග මහත් වේගයෙන් කරකවා පහතට විසි කළාය. යළිත් ඔහුගේ හදවතට හීයක් විද්දාය. අසුරයා කටින් ලේ දම දමා මැරී වැටුණි.

සිංහයකුට පිට නැගී එක් පාදයකින් මී හරකකු පාගාගෙන සිටින ලෙස තනා ඇති දුර්ගා දේවියගේ ප්‍රතිමා ඔබත් දකින්නට ඇත. ඉන් ගම්‍ය වනුයේ මහීෂ අසුරයා පරාජය කළ දුර්ගා දේවියගේ ප්‍රතාපවත් දේහ විලාශයයි. මහීෂ අසුරයා මරා සටනින් ජයගත් දුර්ගා හෙවත් ශ්‍රී මහා භද්‍රකාලී දෙවඟන ලොව සියලු දේ අමතක කර නටන්නට පටන් ගත්තාය. කෙතරම් වේගයෙන් නටන්නට වූයේ ද යත් මුළු ලොව සුනුවිසුණු වී යෑමට තරම් වේගවත් ලෙස පාද තැබුවාය. ඇය යළි පාර්වතී බවට පත්වීමෙන් පසු නැටුම නතර වන බව ශිව දෙවිඳුට අවබෝධ වූ නිසා ශිව ඇය ඉදිරියේ බිම දිගා විය. ශිව දෙවිඳුගේ පපුව මත ඇය පා තැබුවාය. ඒ මොහොතේම දුර්ගා පාර්වතී බවට පත්වී ශිව දෙවි වැලඳ ගත්තාය. දුර්ගා දේවිය පාර්වතීගේ අවතාරයක් ලෙස විශ්වාස කරන උතුරු ඉන්දියානු ජනතාව වාර්ෂික උත්සවයක් පවත්වති. ඉන්දියාව සහ බෙංගාල දේශ සීමාව හරහා ගලා බසින ඉච්චාමතී ගංගාවෙහි දුර්ගා දේවිය ගිල්වා දැමීම මේ උත්සවයේ විශේෂ අංගයකි. එය කරන්නේ ගෞරවය පිණිසය.

ඔක්තෝබර් මස මැද භාගයේ මේ උත්සවය පැවැත්වීම සිරිතයි. බටහිර බෙංගාලයේ අගනුවර වන කල්කටාවෙන් කිලෝමීටර් සියයක් දුරින් තාකි ප්‍රදේශයේදී ඉච්චාමතී ගංගාව පුළුල්ව ගලා බසියි. මේ ස්ථානයේදී බැතිමත්තු එක් වී දුර්ගා පිළිරූ ගංගාවේ ගිල්වා පූජා පවත්වති. හිරු අවරට යද්දී මේ පූජාව ආරම්භ කෙරේ.

Leave A Comment