දැඩිමුණ්ඩ දෙවියන්ගේ උත්පත්ති කථාව
- Editor
- December 17, 2025
- දැඩිමුණ්ඩ දෙවියන්, දෙවිවරු
- #Deviyo, Dedimunda, අලුත්නුවර, දැඩිමුණ්ඩ, දැඩිමුණ්ඩ දෙවියන්, දේවතා බණ්ඩාර
- 0 Comments
දැඩිමුණ්ඩ දෙවියන් ලක්දිව යක්‍ෂ හා නාග ගෝත්‍ර දෙකටම අයිතිවාසිකම් කියන උරුමක්කාරයෙකි. යක්‍ෂ හා නාග වංස දෙක එකතුව බිහි වූ දරුවන් ද්වි වංසික හෙවත් දේව වංසිකයන් වන බව ජනශ්‍රැතියේ සඳහන් නිසා දැඩිමුණ්ඩ උපතින්ම දේව වංශිකයකු බව සඳහන් කළ හැකිය.
යක්‍ෂ ගෝත්‍රිකයන්ට අධිපති වෙසමුණි (කුවේර) දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව, එරන්දතී නම් නාග ගෝත්‍රික කන්‍යාවියගේ කුසින් තලගිරිකන්දේදී මොහු උපත ලැබීය. සිද්ධාර්ථ තාපසයාණන් නේරංජනා නදී තීරයේ ඇසතු බෝ රුක මුලදී සියලු කෙලෙසුන් නසා වෙසක් පුර පොහෝ දිනයේ බුදු බව සාක්‍ෂාත් කර ගනිද්දී වසවර්ති මාරයා ඇතුළු දස බිම්බරක් මාර සේනාව සමඟ ඇති වූ මාර යුද්ධයේදී බලවත් දෙවිවරුන් පවා බියේ පැන ගියහ. මේබැව් දුටු කුවේරයන් තම මුනුබුරු වූ දැඩිමුණ්ඩයන් කැඳවා උන්වහන්සේ ආරක්‍ෂා කරන ලෙස දැන්වීය.
කාශ්‍යප බුදුන්ගේ අවධියේ සිට ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල භක්තියෙන් යුතුවූ දැඩිමුණ්ඩ තනිවම හෝ සටන් කර සිද්ධාර්ථ බෝසතාණන් ආරක්‍ෂා කරමියි සිතා නොබියව රන් දුන්නක් ගෙන, සුදු වතින් සැරැසී මාර සේනවා සමඟ සටන් කර මහමෙර පර්වතය මුදුනේ වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර දැමූ බව ගල කැප්පූ සැහැල්ලේ සඳහන් වේ.

ලක්දිවට, බුද්ධ ශාසනයට විපතක් සිදුවන සෑම අවස්ථාවකදීම විවිධ ස්වරූපයන්ගෙන් පහළ වී රට ආරක්‍ෂා කිරීමට කැපවන දැඩි බලයකින් යුතු දෙවියකු ලෙස දැඩිමුණ්ඩ දෙවියන් ජනතා ප්‍රසාදයට පත්වී ඇත. දැඩි වූ සිතත්, කැරැලි ගැසුණු හිසකෙසත් නිසා දැඩිමුණ්ඩ නාමයෙන් හඳුන්වන එතුමන් පිළිබඳ කියැවෙන ඓතිහාසික කතා පුවත් කිහිපයකි.
හඳුන් වනයේ විසූ හෙයින් ‘හඳුන් කුමාර’ නමින්ද, මාණික්‍ය භාණ්ඩාගාරයේ ආරක්‍ෂක කටයුතු භාරව සිටි හෙයින් ‘මැණික් බණ්ඩාර’ නමින්ද, සොළී පරදේසක්කාරයන් ලක්දිව බලයට පත්ව සිටි සමයේ ඔවුන් හා යුද්ධ කොට අල්ලා ගත් ප්‍රදේශ ආරක්‍ෂා කළ හෙයින් ‘උෟවේ බණ්ඩාර’ නමින්ද, ඇම්බැක්කේ මහ දේවාලයට අධිපති වීමෙන් ‘ඇම්බැක්කේ දේවතා බණ්ඩාර’ නමින්ද, ඇතෙකු පිට නැඟී සටන් වැද කිරුළ ගම්කන්ද දෙබෑකර සතුරු බළමුළු විනාශ කළ නිසා ‘කිරුළ බණ්ඩාර’ නමින්ද, කෙහෙල් පන්නල ග්‍රාමයට නුදුරින් මහ වනයේ අලුත් නුවරක් පිහිටූ වූ හෙයින් ‘අලුත්නුවර දේවතා බණ්ඩාර’ නමින්ද හදුන්වනු ලබයි.
දැඩිමුණ්ඩ දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සදහන් වන්නේ මාවනැල්ල අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.මීට අමතරව මෙම දෙවියන්ගේ ආශීර්වාදය ලබන අනෙකුත් ප්‍රදේශ වන්නේ හිඟුල, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, බත්ලේගල, කෙහෙල්පන්නල, හෙම්මාතගම, රහලගල, කඩුගන්නාව ආදී ප්‍රදේශයි. කන්ද උඩරට රාජධානියේ නිලමේවරයකුගේ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී සිටින දැඩිමුණ්ඩ දෙවියන් වේවැලක් හෝ සැරයටියක් සුරතින් දරා සැවුළාගේ පිටින් ගමන් වඩී.
තමන්ගෙන් පිහිට පතන සියලු ජනයාට පැමිණෙන්නා වූ අනවින, කොඩිවින දෝෂාන්ධකාරයන්ද, යක්‍ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩාදීන්ගේ උපද්‍රවයන්ද, තුන් දොසින් හටගත් දෝෂාන්ධකාරයන්ද මඟහරවා සර්වාරක්‍ෂාව ලබාදෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් අනවින සොරසතුරුකම් කරනවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවද විශ්වාස කෙරේ.
වර්තමාන අලුත්නුවර දේවාලය ඇති තැන දේවාලය කරවා දෙවියන් එහි වැඩම කරවන ලද්දේ මින් අනතුරුව ය. අලුත්නුවර දේවාලය ඉදිරියේ තිබුණු විශාල ගල් පර්වතය යක්ෂයන්ගේ සහයෝගයෙන් ඉවත් කලේ දැඩිමුණ්ඩයන් විසින් බව ගල කැපූ සැහැල්ලේ සඳහන් ය. දැඩිමුණ්ඩ දෙවියන් යකුන් ලවා ගල කැප්ප වූ අයුරු හෙළ නර්තන කලාවේ එන ඒකාක්ෂර කවි ගායනාවක ද මෙලෙස දැක්වේ.
වේග වෙලා දහඅට දේශයකින් බලයකු ගෙන්නුවේ
වේ රෑනෙන් ගල කප්පා වැඩ සිට යකුහට බලපෑවේ
වේවැල සුරතින් සෝඩු දරාගෙන බණ්ඩර බව ලැබුවේ
වේය නෑර ජය අලුත් නුවර දෙව් වරමින් අපි ආවේ

දේවතා බණ්ඩාරයන් හට යක්ෂයින්ගෙන් පහසුවෙන් වැඩ ගැනීමට හැකි වූයේ තම පිය පාර්ශ්වය යක්ෂයින් වීම නිසාවෙන් බව සිතීම වරදක් නැත. කාලි , කන්නඩිරානාද , ගොපලුපිල්ලි , ගිනිජල් , ලවුදි , ගිනිබ්‍රාඩ් , මල්ලව , භාග , දෙවොල් , වඩුග , ඔමරි , මංගු යනාදි නම් වලින් දැඩිමුණ්ඩ දෙවියන්ගේ සේවක පිරිස් සිටි බව සිංහල දේව පුරාණයෙහි දැක්වේ. යක්ෂ සමූහයාට කැවිලි පෙවිලි දී ඔවුන් සතුටු කරවා ගල් පර්වතය බිඳ හෙළන ලෙසට අණකොට එක් රැයක් තුළ ගල බිඳහෙළූ බව හා අලුත්නුවර දේවාලය ඉදිකිරීමට යකුන්ගෙන් වැඩගත් බව පහතරට ශාන්තිකර්මවල එන කෝල්මුර කවි වල ද මෙසේ දැක්වේ.
බත්ගල ගව්ඩිය මල්ල රටේ යක්
පොන්නඩි ජාවක මල්ල රටේ යක්
කණ්ණඩි කාවෙරි කවුඩි රටේ යක්
සිංහල දේසේට ගෙන්වා හැම යක්
වඩා කැවුම් සහ කිරිබත් කැටි කොට
කුඩා නොකරවව් එක දෙක දෙන්නට
විඩාව හැර පුද කරන්න යකු හට
කඩා දමව් ගල අද රෑ සුන් කොට “
විසිදාගම , නවගමුව , කොස්ගම , සබරගමුව , සීනිගම , උග්ගල් අලුත්නුවර , දඹදෙණියේ රාජගිරි ලෙන , හුන්නස්ගිරිය හා උඩුකිඳ යනාදි තැන්වල දැඩිමුණ්ඩ දෙවියන් විසූ බව දැඩිමුණ්ඩ දෙවි කන්නලව්වට අනුව පැහැදිලි ය. එසේම දේවතා බණ්ඩාර කවි , අලුත්නුවර කවි , දේවතා වරම , ගලකැපූ සැහැල්ල , දේවතාපරල , තිස්පැයේ කීම , හූනියන් යකුන් කෙළි , මල් යහන් කවි යනාදි කාව්‍යමය ග්‍රන්ථ වලින් ද දැඩිමුණ්ඩ දෙවියන් පිළිබද තොරතුරු ලබා ගත හැක.
විභීෂණ , සමන් , උපුල්වන් දෙවිවරු මෙන් දැඩිමුණ්ඩ දෙවියන් ද ස්වදේශීය දෙවි කෙනෙකු ලෙස බැතිමත්තු විශ්වාස කරති. ප්‍රධාන වශයෙන්ම සතර කෝරළයට අරක්ගෙන සිටින දැඩිමුණ්ඩ දෙවියන් මහේශාක්‍ය දෙවිකෙනෙකු වශයෙන් සැලකේ. බොක්සැල් , වීරභද්‍ර හා සුදු මල් යනුවෙන් ද හදුන්වන දැඩිමුණ්ඩ දෙවියන් නිල්වන් වේවැලක් අතින් ගෙන සම්බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා විවිධ ස්වරූපයෙන් මෙලොව පහලවන බව කිව යුතුමය.

