Dark

Auto

Light

Dark

Auto

Light

කාලි දේව මැණියන්ට වන්දනා කිරීමෙන් ගැටලු තවත් උග්‍ර වේද?

සමහර විට, මිනිසුන් එකම විශාල, බලවත් දේවතාවිය මහා පාර්වතී, ශ්‍රී මහා දුර්ගා හෝ මහා කාලි වැනි විවිධ නම් වලින් හඳුන්වයි. නමුත් ඇත්ත වශයෙන්ම, ඒ සියල්ල එකම අපූරු මව් දේවතාවිය සඳහා වෙනස් නම් පමණි.

ඇය මිනිසුන්ට, සතුන්ට, ශාකවලට – සෑම දෙයකටම ජීවය දුන් ආදරණීය මවක් වැනිය, විශාලතම සාගරයට වඩා අප සැමට ආදරය කරයි. විශ්වය නිර්මාණය කළේ ඇයයි – දෙවිවරුන් සහ විවිධ ලෝක ඇතුළුව අප වටා අප දකින සියල්ල. ඉතින්, ඇය ඉතා බලවත් දෙවිවරුන් පවා නිර්මාණය කළාද? ඇය වැනි, ඉතා පිරිසිදු හා ශක්තිමත් දේවතාවියක් සතුටින් සිටීමට මත්පැන්, සිගරට්, රුධිරය හෝ ගිනිකෙළි වැනි දේවල් අවශ්‍යද? යමෙකු ඇයට නමස්කාර කළහොත්, ඔවුන්ට රිදෙයිද? ඔබේ හදවතේ මෙම ප්‍රශ්න ගැන සිතා බලා පිළිතුරු සොයා ගැනීමට උත්සාහ කරන්න.

කාලි දේවියට නමස්කාර කරන අනෙක් අයව විවේචනය කිරීමෙන් සමහර අය විශාල වැරැද්දක් කරනවා. ඔවුන් වැරදි උපදෙස් ලබා දෙන අතර ඇයව විශ්වාස කරන අයව ව්‍යාකූල කර කලබලයට පත් කළ හැකි අසත්‍ය තොරතුරු බෙදා ගන්නවා. සමහර විට, ඔවුන් අන් අය දේවියට නමස්කාර කිරීම වැළැක්වීමට පවා දුරදිග යනවා. මෙම ක්‍රියාවන් ඉතා වැරදි වන අතර මිනිසුන්ගේ හැඟීම් සහ ඔවුන්ගේ ඇදහිල්ලට හානි කළ හැකිය.

කාලි මෑණියන්ගේ වන්දනාවන්ට බාධා කරන, ඒවාට වැරදි උපදෙස් දෙන එම බැතිමතුන් මිථ්‍යා අදහස් දක්වා බිය ගන්වන අයට ප්‍රධාන වශයෙන්ම ශිව දෙවියන් (ස්වාමි පුරුෂයා), කතරගම දෙවියන් (වැඩිමහල් පුත්‍රයා), ගණ දෙවියන් (බාල පුත්‍රයා), විෂ්ණු දෙවියන් (සහෝදරයා) යන දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නැති වී යයි. ඒ වගේම මෑණියන්ගේම ස්වරූපයන් වූ මහා ලක්ෂ්මි, මහා සරස්වති, පත්තිනි ඇතුළු සියලුම දේව ශක්තීන්ගේ ශාපයන්ට ලක්වේ. එවැනි අයට කිසිදු දේවතාවියකගේ පිහිටක් කිසි විටෙක නොලැබේ. එවැනි අයට යහපත් මාතෘ ගුණ පිහිටීමක් නොවන අතර මාතෘ ගුණ ඇති අයගේ ඇසුරත් නොලැබී යයි. ලංකාවේ ඇති තවත් බරපතළ මිථ්‍යාවක් නම් ‘මහා කාලි’ මෑණියන්ට ‘සොහොන් කාලිය’ ලෙස ආමන්ත්‍රණය කරමින් වන්දනා කිරීම හා ශ්‍රී මහා දුර්ගා මෑණියන්ට භද්‍ර කාලි ලෙස වන්දනාමාන කිරීම. “භද්‍රකාලිය” නම් ස්වරූපයෙන් ‘මහා කාලියට’ සමාන ‘මහා දුර්ගා’ මාතාව විසින් ප්‍රකට කරන අවතාරයකි.

නමුත් මහා දුර්ගා මාතාවට භද්‍රකාලි නාමයෙන් වැඳුම් පිදුම් කිරීම සුදුසු නොවේ. එය හරියට මහා රජුන්ට, රාජ පුරුෂයකුගේ නමින් ආමන්ත්‍රණය කිරීම හා සමානය. මහා දුර්ගා මෑණියන් ස්වරූපයෙන් ඉතාම රූමත් සුන්දර දේවතාවියකි. මහා භද්‍රකාලි දේවිය රෞද්‍ර ස්වරූපයක් ඇති මෑණියන්ගේම උග්‍ර අවතාරයකි. මේ නිසා මිනිසුන් විසින් භද්‍රකාලි කියා මහා දුර්ගා මාතාවන්ව නිවෙසින් පිටත දමා වැඳුම් පිදුම් කරනු ලබයි. සත්තකින්ම දුර්ගා මෑණියන් යනු නිවෙස ඇතුළත වන්දනා කළ යුතු දේව මාතාවකි. එතුමිය වැඩ ඉන්නා තැනට ලක්ෂ්මීය මෙන් සෞභාග්‍ය උදාකරයි. සරස්වතිය මෙන් පාරිශුද්ධතාව ඇති කරයි. ගණ දෙවියන් මෙන් සියලු බාධා දුරු කර දියුණුව උදාකරයි. කතරගම දෙවියන් මෙන් ආරක්ෂාව ලබාදෙයි. කොටින්ම එතුමිය වැඩ ඉන්නා තැන සියලුම දෙවියන් වැඩ වාසය කරයි.

අනෙක් කාරණය තමයි, ‘මහා කාලි’ මාතාවට ‘සොහොන්’ කාලි යැයි කියා වන්දනාමාන කිරීම. හින්දු දහමට අනුව ‘සොහොන් කාලි’ කියා කාලි මෑණියන්ගේ කිසිදු අවතාරයක් හෝ කාලි මෑණියන්ට සම්බන්ධ කිසිදු අයෙක් පැහැදිලිවම නොමැත. ඇත්තටම සොහොන් කාලිය’ යනු ලංකාවට පමණක් ආවේණික වූ පැරණි යකැදුරන් විසින් වැඩ ගත් සොහොන්වල වෙසෙන දරුණු බලවත් යක්ෂණියකි. ඇයට නම් අරක්කු, පුලුටු, සුරුට්ටු, රුධිර පූජාවන් සිදු කිරීම පිළිගත හැකිය. පැරණි යකැදුරන් හා සිංහල ක්‍රමයට දෙවියන්, යක්ෂයන් ඇදහූ කපුවන් විසින් ඔවුන්ගේ වැඩකටයුතුවල පහසුව පිණිස සොහොන් කාලිය නිරූපණය කිරීම සඳහා ඉන්දියාවේ මහා කාලි මාතාවගේ චිත්‍ර, පින්තූර හා ප්‍රතිමාවන් භාවිත කොට ඇත. මෙන්න මේ කාරණය නිසා ඇති වූ විකෘතිතාවන්වල ප්‍රතිඵල ලෙස අදටත් ලංකාවේ මහා කාලි මෑණියන්ට ‘සොහොන් කාලි’ ලෙස බියෙන් සැකෙන් වන්දනා කරයි.

තවද මේ නිසා ‘මහා කාලි’ මාතාව සමඟ සොහොන් කාලි නමැති යක්ෂණිය පටලවාගෙන  බරපතළ ලෙස සමාජය තුළ බොහෝ වැරදි අවබෝධ හා මිථ්‍යා පිළිගැනීම් ප්‍රචලිත වී ඇත. මෙන්න මේ කියන කරුණු නිසාම තමයි බොහෝ වැඩිහිටියන් පවා කාලි මෑණියන් වන්දනාවන් පිළිබඳව අපට බොහෝ වැරදි අවවාද ලබා දෙන්නේ. ඉස්සර වගේ නොවෙයි දැන්. ඉස්සර මිනිස්සු දෙවියන් ගැන කරුණු කාරණා දැනකියා ගත්තේ ඔළමොට්ටළ පැරැණි ඇදුරන්, යකැදුරන්, කපුවන්ගෙනි.

මන්ද එකල විසූ බැතිමතුන්ට මේ සම්බන්ධ නිවැරදි කරුණු දැනගැනීම සඳහා පතපොත නොතිබූ නිසාත්, මෙරට එවකටත් නිවැරදි දැනුම ඇති හින්දු දෙමළ ජාතිකයන් සිටියත් භාෂා හුවමාරුව හා සන්නිවේදනයේ තිබූ දුර්වලතාව නිසාත්, සිංහල ක්‍රමයට දේව වන්දනා හා පූජා පිළිවෙත් සහිත සම්ප්‍රදායක් තිබූ නිසාත් අවශ්‍ය නිවැරදි තොරතුරු හා දැනුම ලබා ගැනීමට අවස්ථාවක් නොමැති වී ඇත. නමුත් දැන් එසේ නොවේ. අපි දැන් දියුණු තාක්ෂණයක් සහිත කාලයක ජීවත් වෙමු. 

අපට කපුවන්ගේ, ඇදුරන්ගේ මතවලින් වැඩක් නැත. අවශ්‍ය නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ඕනෑ තරම් පතපොත ඇත. අන්තර්ජාලය භාවිතයෙන් ඕනෑ තරම් කරුණු ගවේෂණය කළ හැකිය. ඉතාම සතුටට කාරණයක් නම් දැන් දැන් දෙවියන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ෆේස්බුක් සමූහ තුළ බුද්ධිමත් තරුණ පිරිස් විසින් බොහෝ වටිනා වැදගත් කරුණු හා දත්ත සහිත ලිපි පළ කරනු ලැබේ. එම නිසා වර්තමාන සමාජයට ඉතාම පහසුවෙන් අවශ්‍ය දැනුවත් භාවයන් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත. මා විසින්ද කරනු ලබන්නේ එවැනිම සමාජ සේවයකි.

කරුණාකර සත්‍ය කරුණු ඉගෙන ගෙන දුර්ගා මාතාවට සහ කාලි මාතාවට ගරු කිරීමට මතක තබා ගන්න. කාලි මාතාව පිළිබඳ වැරදි අදහස් අන් අයට පතුරුවා හැරීම වැදගත් ය. මෙම වැරදි වැටහීම් දිගටම නොපවතින බවට වග බලා ගැනීමට අපි එක්ව කටයුතු කරමු. එසේම, දුර්ගා මාතාව, කාලි මාතාව, ගණ දෙවියන් සහ කතරගම දෙවියන් ඔබේම මව ලෙස සිතා නමස්කාර කරන්න. දුර්ගා මාතාව සහ කාලි මාතාව ඔබ සැමට ආශිර්වාද කරත්වා.

Leave A Comment